අද ජනපති හා මුදල් ඇමති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය කතාවේදී Tax සම්බන්ධව ඉදිරි වසරේ සිදුකරන වෙනස්කම් ගැන සම්පූර්ණ අයවැය කතා කොටස පහතින්
"අපගේ රජයේ අරමුණ වන්නේ ගෝලීය මිණුම් සලකුණු වලට අනුකූලව, විනිවිදභාවය, සාධාරණත්වය සහ පරිපාලන කාර්යක්ෂමතාව මත පදනම් වූ නව බදු ක්‍රමයක් ගොඩනැගීමට කටයුතු කිරීමයි.
රාජ්‍ය බදු ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය අප රජය බලයට පත්වන අවස්ථාවේදී ආදායම් එකතු කිරීම පැවතියේ යම් දුර්වල මට්ටමකයි. බදු අනුකූලතාව අඩු වී තිබූ අතර සමස්ත පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වී තිබුණි. කෙසේ වෙතත්, වසරක් වැනි කෙටි කාලයක් තුළ අප ආදායම් රැස්කිරීමේ ඉහළ ප්‍රගතියක් ලබා ගැනීමට සමත් වූ බව සතුටින් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
ඒ අනුව, ප්‍රධාන බදු ඇතුළු රජයේ ආදායම 2024 වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 2900 ක් වූ අතර, 2025 වසරේ සමාන්තර කාලය වන විට එය රුපියල් බිලියන 3800 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂිතය. මේ සඳහා දායක වූ අදාළ රාජ්‍ය අංශයේ සියලුම නිලධාරීන්ට මා මේ අවස්ථාවේදී මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිමි. ඔවුන් විශාල මෙහෙයක් සහ කැපකිරීමක් කළ බව මම දනිමි; මෙම ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ඇතැම් විට රාත්‍රී කාලයේ පවා ඔවුන් වැඩ කර තිබේ.
සරල කළ එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඔක්තෝබර් මස පළමු වන දින සිට අවලංගු කර ඇත. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී මෙම ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ප්‍රශ්න කරනු මා දුටුවෙමි. ව්‍යාපාරිකයින්ට තමන්ට අවශ්‍ය වන මුදල් ප්‍රවාහය පවත්වාගෙන යාමට මෙම ක්‍රමය හිතකර බව සැබෑය. නමුත් වාර්තා වලට අනුව එහි විශාල බදු කාන්දුවීමක් (leakage) පවතින බවද පිළිගත යුතුය. ඒ අනුව මෙම ක්‍රමය අප ඉවත් කළ යුතුව තිබුණි.
කෙසේ වෙතත්, වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ඉතා කඩිනම් කළ යුතුව ඇත. අපගේ අරමුණ වන්නේ ව්‍යාපාරිකයින්ට විශාල අර්බුදයක් ඇති නොවන පරිදි කෙටි කාලයකින් එම මුදල් ලබා දීමයි. ඒ අනුව සැලසුම් කර, ඔක්තෝබර් පළමු වන දා සිට SVAT අවලංගු කර, බදු අනුකූලතාව වැඩි කිරීම සහ අනිසි භාවිතය අඩු කිරීම සඳහා විධිමත් මුදල් ආපසු ගැනීමේ ක්‍රියාවලියකට අප මාරු වී තිබේ. 2025 සැප්තැම්බර් 30 වන විට ඉතා ඉක්මනින් මෙම ගෙවීම් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
2024 වසරට සාපේක්ෂව ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකින් වැඩි වී තිබේ. අප සෑම විටම උත්සාහ කරන්නේ තිබෙන තැනින්ම බදු වැඩි කිරීමට නොව, බදු දැල පුළුල් කිරීමටයි; ඒ සඳහා අප සමත් වී තිබෙනවා.
ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම සඳහා අපගේ ප්‍රවේශය වන්නේ පුරවැසියා සහ රාජ්‍ය අතර සමාජ ගිවිසුම පිළිබිඹු කරමින්, බෙදාගත් වගකීමේ මූලධර්මය හා බැඳී පවතින පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. බදු වියදම් තාර්කිකකරණය, ආදායම් බදු ශක්තිමත් කිරීම, වැට් බදු හා සුරා බදු කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සරල කළ ක්‍රියා පටිපාටි මෙන්ම 'ඩිජිටල් පළමු' (Digital First) අනුකූලතා රාමුව හරහා විධිමත් අංශය පුළුල් කිරීම මීට ඇතුළත් වේ. වියදම් කාර්යක්ෂමතාව, වගවීම සහ මහජන විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා මෙම පියවර පුළුල් ආයතනික ප්‍රතිසංස්කරණ සමඟ පෙළගැසිය යුතුය.
ආදායම් යෝජනා ආනයනික පොල්තෙල් සහ පාම් තෙල් මත එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීමට යෝජනා කෙරේ. දැනට දේශීයව පොල්තෙල් සහ පාම් තෙල් නිෂ්පාදනය කිරීමේදී ඒවා එකතු කළ අගය මත බද්දට හා සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වේ. නමුත් ආනයනික පොල්තෙල් සහ පාම් ඔයිල් සඳහා පිළිවෙලින් කිලෝග්‍රෑමයකට රුපියල් 150 ක් සහ රුපියල් 207.50 ක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් (SCL) පමණක් අය කෙරේ. සමාන තරඟකාරී තත්වයක් තහවුරු කිරීම සඳහා, ආනයනික පොල්තෙල් සහ පාම් තෙල් මත අයවන මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර, ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහය ක්‍රියාත්මක කිරීමට යෝජනා කරමි. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
එකතුකළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා ලියාපදිංචි වීමේ සීමාව අඩු කිරීම බදු පදනම පුළුල් කිරීම සඳහා VAT සහ SSCL සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව, 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා කරමි.
දැනට වෙළඳපොලේ වැට් බදු අය කරන වෙළඳසැල් සහ නොකරන වෙළඳසැල් පවතී. ඔබ භාණ්ඩයක් මිලදී ගැනීමට ගිය විට, එය වැට් බදු වලට යටත් නොවන නිසා මිල අඩු බවත්, වෙනත් තැනක වැට් බදු නිසා මිල වැඩි බවත් දැකිය හැකිය. නමුත් බොහෝ විට මෙම මිල වෙනස පාරිභෝගිකයාට දැනෙන්නේ නැත; වැට් බදු නොගෙවන ආයතනද වැට් බදු අය කරන ආයතනවල මිල ගණන්වලටම භාණ්ඩ අලෙවි කරන අවස්ථා තිබේ. සාධාරණ ලෙස නම් වැට් බදු අය නොකරන තැන මිල අඩු විය යුතුය, නමුත් එය එසේ සිදු නොවේ.
මෙම සීමාව අඩු කිරීම මගින් බදු දැල තවදුරටත් පුළුල් වේ. සමහර ව්‍යාපාරිකයින් රුපියල් මිලියන 60 සීමාව ඉක්මවා යාම වැළැක්වීම සඳහා තම ව්‍යාපාරය කොටස් දෙක තුනකට කඩා (උදාහරණයක් ලෙස මිලියන 30 සමාගම් දෙකක් ලෙස) පවත්වාගෙන යනු ලබයි. සීමාව මිලියන 36 දක්වා අඩු කළ විට, ඔවුන්ට තවදුරටත් එසේ කැබලි කිරීමට අපහසු වනු ඇත. එවිට අවම වශයෙන් මිලියන 60 ආසන්නයේ සිටින අය හෝ බදු දැලට හසු වනු ඇත. අපගේ අපේක්ෂාව වන්නේ මෙමගින් බදුකරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වීමයි.
ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත්කර එකතුකළ අගය මත බද්ද පැනවීම දේශීය රෙදි නිෂ්පාදන එකතු කළ අගය මත බද්දට යටත් වන අතර, ආනයනික රෙදි එම බද්දෙන් නිදහස් වේ. නමුත් ආනයනික රෙදි සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 100 ක සෙස් බද්දක් අය කරනු ලැබේ. සමාන තරඟකාරී තත්වයක් තහවුරු කිරීම සඳහා ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කිරීමටත්, ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද පැනවීමටත් යෝජනා කරමි. මෙය 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වනු ඇත.
වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම වාහන අලෙවියේදී අය කළ යුතු සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, වාහන ආනයනය කරන අවස්ථාවේදී හෝ දේශීයව නිෂ්පාදනය කරන අවස්ථාවේදී මෙම බද්ද අය කිරීමටත්, ඉන්පසු අලෙවි කරන අවස්ථාවලදී එම බද්දෙන් නිදහස් කිරීමටත් යෝජනා කරමි. මෙහිදී අලුත් බදු වැඩිවීමක් සිදු නොවන අතර, බදු අය කර ගන්නා ස්ථානය පමණක් වෙනස් වේ. මෙමගින් බදු පැහැර හැරීමට තිබූ අවස්ථා මග හැරෙනු ඇත. මෙය 2026 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම දැනට ක්‍රියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත වෙනුවට, 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි 0%, 10%, 20% ලෙස නව තීරු බදු අනුපාත තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරමි.
තීරු බදු නොවන ආනයන බදු (Para-tariffs) ක්‍රමානුකූලව ඉවත් කිරීම ජාත්‍යන්තර වෙළඳාමට බාධාවක් වී ඇති තීරු බදු නොවන ආනයන බදු, දේශීය නිෂ්පාදනද ආරක්ෂා කර ගනිමින් ක්‍රමානුකූලව ඉවත් කළ යුතුව ඇත.
රජයේ ආදායමට අවම බලපෑමක් වන පරිදි, කාල රාමුවකට අනුව මෙම බදු ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට යෝජනා කරමි.
බදු විගණන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම බදු පරිපාලනයේ සුපිළිපන් බව, කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වර්ධනය කිරීම සඳහා රජය විසින් 2026 වසරේ ජනවාරි මස සිට ගොනු කරනු ලබන වාර්තා සඳහා අදාළ වන පරිදි නවීන බදු විගණන රාමුවක් හඳුන්වා දෙනු ඇත. මෙම ප්‍රතිසංස්කරණ මගින් විගණන ක්‍රියා පටිපාටීන් විධිමත් කරන අතර, බදු ගෙවන්නන් සහ නිලධාරීන් අතර නීත්‍යානුකූල නොවන බැඳීම් අඩු කරමින් අභිමතය පරිදි කටයුතු කිරීමට හා දූෂණයට ඇති අවස්ථා අවම කරනු ඇත.
නව ක්‍රමය යටතේ විගණන නඩු තෝරා ගැනීම අවදානම් කළමනාකරණ ඒකක විසින් විනිවිදභාවයෙන් යුත් අවදානම් තක්සේරුවක් මත සිදු කරනු ලබන අතර, අවශ්‍ය විටෙක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් ඒවා සමාලෝචනය කරනු ලැබේ.
බදු රාමුව යාවත්කාලීන කිරීම (විදුලි සංදේශ බද්ද) විදුලි සංදේශ සේවා සැපයුම් මත අය කරනු ලබන බද්ද ගෙවීමේදී, එම ආයතන විසින් දරන ලද බොල් ණය (bad debts) ඊට ඇතුළත් නොවිය යුතුය. දැනට බදු අය කරන්නේ නිකුත් කරන ලද බිල්පත් මතය; බිල්පතේ වටිනාකම සම්පූර්ණයෙන් අය වී නොතිබිය හැකිය. එබැවින් බොල් ණය බද්දෙන් නිදහස් කළ යුතු අතර, පසුව එම බොල් ණයක් අය කර ගන්නේ නම්, එය අදාළ මාසයේ බදු ගෙවීමට ඇතුළත් කළ යුතුය. මේ සඳහා 2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමට යෝජනා කරමි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ අනෙකුත් ආයතන සමඟ බදු පරිපාලන අධිකාරීන් විසින් තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩ සැලසෙන නෛතික ප්‍රතිපාදන අදාළ බදු අණපනත්වලට ඇතුළත් කිරීමට කටයුතු කෙරේ. දැනට පවතින නීතිමය බාධා නිසා විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු නිසි පරිදි හුවමාරු නොවේ.
ජාතික විද්‍යුත් ඉන්වොයිස් (E-Invoicing) පද්ධතිය ජාතික විද්‍යුත් ඉන්වොයිස් පද්ධතියක් සඳහා අඩිතාලම දැමීමට, බදු ගෙවන්නන්ගේ ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) පද්ධති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතිය අතර බාධාවකින් තොර සම්බන්ධතාවක් ඇති කර ගැනීමට API මත පදනම් වූ ඒකාබද්ධ රාමුවක් හඳුන්වා දෙනු ලැබේ. තෝරාගත් නියමු සමාගම් සමඟ මෙම වසර තුළ මෙය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
පළමු අදියරේදී නියමු සමාගම් සහ අපනයන නැඹුරු ව්‍යවසායන් ආවරණය වන පරිදි පද්ධතිය පුළුල් කෙරේ. දෙවන අදියරේදී සියලුම වැට් ලියාපදිංචි බදු ගෙවන්නන් ඇතුළත් කර ගැනේ. තුන්වන අදියරේදී විකුණුම් ගෙවීම් යන්ත්‍ර (POS) හරහා තථ්‍ය කාලීන (real-time) ගනුදෙනු වාර්තා කිරීමට යොමු කෙරෙනු ඇත. 2026 වසර වන විට මෙය සම්පූර්ණ කිරීම අපගේ ඉලක්කයයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රය වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කාර්යාල සංකීර්ණයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට රුපියල් මිලියන 2000 ක් (බිලියන 2 ක්) වෙන් කිරීමට යෝජනා කරමි."
Comments
Post a Comment
Your comment will be visible after approval