a-clue-about-a-body-buried-6-years-ago

 වසර හයකට පෙර වතුරුගම, ඉඳුරුගල්ල ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව පුද්ගලයෙකු ඝාතනය කර වැසිකිළි වළක දමා කොන්ක්‍රීට් කර වසා දැමීමේ පුවතක් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 58ක් වූ සුනිල් නැමැති එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකි. 2019 වසරේ සැප්තැම්බර් මස 18 වන දින මියගිය පුද්ගලයා තවත් තිදෙනෙකු සමඟ නීතිවිරෝධී මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී බීමතින් ඔහු පැවසූ පරුෂ වචනයක් හේතුවෙන් උරණ වූ අනෙක් පිරිස පහර දී මෙම ඝාතනය සිදු කර ඇත.

ඝාතනයෙන් පසු සැකකරුවන් විසින් මළ සිරුර අසල තිබූ වැසිකිළි වළකට දමා ඇත්තේ, වැසිකිළි වළට යාබදව කුඩා වළක් හාරා ඒ තුළින් සිරුර රිංගවීමෙනි. මියගිය පුද්ගලයා යකඩ සොරකමක් සම්බන්ධයෙන් එකල පොලීසිය සොයමින් සිටි අයෙකු වූ බැවින්,


ඔහු පොලීසියට බියෙන් ගමෙන් පළා ගොස් ඇති බවට සැකකරුවන් විසින් පසුව ගම පුරා අසත්‍ය ප්‍රචාරයක් ද පතුරුවා හැර තිබේ.

මොහුගේ බිරිඳ සහ දරුවන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, වතුරුගම පදිංචි ඥාතීන් විසින් මෙම හදිසි අතුරුදන්වීම පිළිබඳව ඇති වූ සැකය මත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කෙරිණි. ඒ අනුව අපරාධය සම්බන්ධයෙන් සැකපිට මියගිය අය සමඟ එදින මත්පැන් පානය කළ පුද්ගලයන් තිදෙනා අද දින අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් සුනිල් නැමැත්තා මරා සැකකරුවෙකුගේ වත්තක පිහිටි වැසිකිළි වළට දැමූ බව පිළිගෙන ඇත.

අදාළ සිරුර ගම්පහ මහේස්ත්‍රාත්වරයා සහ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ හෙට දිනයේදී ගොඩගැනීමට නියමිතය.