නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගනිමින් එම පළාතේ මුස්ලිම් පාසල් හෙට (27) දින සිට නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. කාලගුණ තත්ත්වය යහපත්වීමෙන් අනතුරුව පාසල් යළි විවෘත කිරීමට නියමිත අතර, මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාග කටයුතු සඳහා මෙම තීරණයෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බව බලධාරීහු අවධාරණය කරති.
ඒ අනුව විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති පාසල්වල විභාග රාජකාරි කටයුතු සැලසුම් කළ පරිදිම බාධාවකින් තොරව ක්‍රියාත්මක වනු ඇත.මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ. පසුගියදා ජීවිත 06ක් අහිමි කරමින් නායයෑමක් වාර්තා වූ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම තවදුරටත් ඉහළ යෑම හේතුවෙන්, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත. මීට අමතරව ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඩි ඇල්ල ප්‍රදේශයේ තේ වත්තක විශාල ගල් කිහිපයක් අස්ථාවර වී තිබීම නිසා මගී ආරක්ෂාව වෙනුවෙන් එම මාර්ගයද අද පස්වරුවේ සිට තාවකාලිකව වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනු ලැබේ.
වාරිමාර්ග ක්ෂේත්‍රයේ දත්තවලට අනුව දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06ක් මේ වනවිට විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 18,600ක ජල ධාරිතාවක් මුදා හරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තත්ත්වය මත වාරියපොළ, නිකවැරටිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක දැදුරු ඔය පහළ නිම්න ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් මතුව ඇති අතර මීට අදාළව නිකුත් කළ අනතුරු ඇඟවීම තවත් පැය 48ක් සඳහා දීර්ඝ කර ඇත. එසේම කලාවැව ජලාශයේ වාන් දොරටු අද රාත්‍රී 10.00න් පසුව අඩි 10ක් දක්වා විවෘත කිරීමට ඉඩ ඇති බැවින් අවුකන - විජිතපුර මාර්ගය භාවිත කරන්නන් සහ කලා ඔය දෙපස ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරි ඉංජිනේරුවරු ඉල්ලා සිටිති.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුදබිම වෙත දිවෙන සෝමාවතිය - සුංගාවිල ප්‍රධාන මාර්ගය අද පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබේ. එම මාර්ගයේ දිග්ගල ප්‍රදේශය අඩි දෙකක පමණ ජල මට්ටමකින් යටවී ඇති බැවින්, ජල මට්ටම බැස යන තෙක් වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස බැතිමතුන්ට දැනුම් දෙනු ලැබේ. තවද මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල පිහිටි හැඩ ඔය සහ කුඹුක්කන් ඔය ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින්
සියඹලාණ්ඩුව, ලාහුගල, බුත්තල සහ ඔක්කම්පිටිය වැනි පහත් බිම් ප්‍රදේශවල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය වූ සියලූ දුම්රියන් කොළඹ කොටුව- නානුඔය සහ නානුඔය- කොළඹ කොටුව අතර දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව හෙට (27) උදෑසන කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත පොඩි මැණිකේ (පෙ.ව. 5.55), උඩරට මැණිකේ (පෙ.ව. 8.30) සහ පෙ.ව. 9.45ට පිටත්වීමට නියමිත දුම්රියන් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
එමෙන්ම මහනුවරින් බදුල්ල දක්වා ගමන් කරන Kandy Odessey (පෙ.ව. 9.40) දුම්රියද නානුඔය දක්වා පමණක් ධාවනය වේ.
මීට අමතරව උඩරට මැණිකේ (පෙ.ව. 9.20), Kandy Odessey (පෙ.ව.11.00), පොඩි මැණිකේ (ප.ව.12.15) සහ ප.ව. 2.16 යන දුම්රියන් නානුඔයේ සිට ගමන් ආරම්භ කෙරේ.
අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු ඉහත ආකාරයට කටයුතු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval