advanced-level-exams-suspended-for-2-days-today-27-and-tomorrow-28

 දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ ඒ හේතුවෙන් උද්ගත වී ඇති ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, අද (27) සහ හෙට (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.



පවතින අයහපත් කාලගුණික වාතාවරණය හමුවේ විභාගය පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් මෙම තීරණය ගත් බවත්,


නොපැවැත්වෙන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නැවත විභාගය පැවැත්වෙන දිනයන් සහ ඊට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳව පසුව විභාග අපේක්ෂකයින් වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කර සිටියි.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් සියලුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් සහ ශාලාධිපතිවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. එමගින් ඇය දැඩිව අවධාරණය කර ඇත්තේ, විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල මේ වන විටත් බෙදාහැර ඇති ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙසයි.