
උසස් පෙළ විභාගයට පවතින අධික තරගකාරීත්වය හා පීඩනය නිසා සිදුවූවා යැයි සැලකිය හැකි අවාසනාවන්ත සිදුවීමක් බම්බලපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා විය.
උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින 19 හැවිරිදි සිසුවියක් බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය පාසලේ ගොඩනැගිල්ලක තුන්වන මහලෙන් අද (11) දහවල් බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇත.
බම්බලපිටිය පොලිසිය සඳහන් කරන්නේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවිය මේ වන විට රෝහල්ගත කර ඇති බවයි. මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය, මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවන වරට පෙනී සිටින බවට තොරතුරු වාර්තා වේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, අද දිනට නියමිතව තිබූ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබා දීමට මිනිත්තු පහළොවකට පමණ පෙර මෙම සිසුවිය තෙමහල් ගොඩනැගිල්ලේ පිහිටි පහත් තාප්පයකින් බිමට පැන ඇති බව අනාවරණය වී තිබේ.
ඇය එසේ බිමට පනින අවස්ථාවේදී කාපට් අතුරා තිබූ මාර්ගයකට ඇද වැටී ඇති අතර, එම තත්ත්වය ඇයගේ ජීවිතය බේරීමට ප්‍රබල හේතුවක් වන්නට ඇති බවට මූලාශ්‍ර තොරතුරු උපුටා දක්වයි.
ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් පොලිසිය පවසන්නේ තුන්වන මහලෙන් බිමට ඇද වැටුණ ද, ඇයට ප්‍රධාන වශයෙන් පාදවලට පමණක් තුවාල සිදු වීම යම් ආශ්චර්යයක් බවයි.
විභාගය සම්බන්ධයෙන් ඇය යම් ආතතියකින් හෝ බියකින් පසුවූ බවට ඇයගේ සමීපතම පවුලේ සාමාජිකයින්ගෙන් ලබා ගත් ප්‍රකාශ මගින් හෙළිවී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval