හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවකට පෙනී සිටීම සඳහා ඇය සුදුසු මානසික තත්ත්වයක පසුවන්නේ ද යන්න තහවුරු කර ගැනීම පිණිස මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (26) තීරණය කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත මෙම නියෝගය නිකුත් කෙරිණි.මෙහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත්, එම තත්ත්වය මත ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම නීත්‍යානුකූල නොවන බවත්ය. විත්තියේ එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඉල්ලා සිටියේ, විත්තිකාරිය නඩුවට මුහුණ දීමට සුදුසු මානසික මට්ටමක සිටීද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම වඩාත් යෝග්‍ය බවයි.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2012 සහ 2015 වසර අතර කාලසීමාව තුළ රුපියල් කෝටි 08 කට අධික මුදලක් අයථා ලෙස උපයා ගනිමින් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ක ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයෙන් දේපළ මිලදී ගැනීම සම්බන්ධව එල්ල වී ඇති චෝදනාවන්ය. හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, අදාළ දේපළ මිලදී ගැනීමට යෙදවූ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට විත්තිකරුවන් අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමිනි.
නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවකදී විත්තියේ නීතිඥවරුන් විසින් විත්තිකාරියගේ රෝගී තත්ත්වය සනාථ කිරීම සඳහා 2017 වසරේදී ගංගොඩවිල දිසා අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත්, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබුණේ එම දිසා අධිකරණ නියෝගය මෙම අපරාධ නඩුව සඳහා සෘජු සම්බන්ධතාවක් නොදක්වන බැවින්, නඩුවට මුහුණ දීමේ හැකියාව පිළිබඳව නැවත පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවයි.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ ඉල්ලීමට අවසර ලබා දෙමින් විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය. එම නියෝගයේ පිටපතක් රහස් පොලිසියට ලබා දෙන ලෙස අධිකරණ ලේඛකාධිකාරීවරයාට උපදෙස් දුන් විනිසුරුවරයා නඩුව නැවත ලබන වසරේ ජනවාරි මස 22 වනදා කැඳවීමට දින නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval