a-gang-that-was-defrauding-tourists-by-lying-and-misleading-them-was-caught

 සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටිමින්, ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන් මුළා කරමින් මූල්‍ය වංචාවල නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන කොළඹ දිසාව තුළ ක්‍රියාත්මක කෙරෙන විශේෂ ආරක්ෂක වැඩසටහනක් යටතේ කොළඹ, කොටුව චැතැම් වීදිය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.


මෙම සැකකාර පුද්ගලයන් මෙරටට පැමිණෙන සංචාරකයන් අමතා, ප්‍රදේශයේ උද්ඝෝෂණ පවතින බවත්, එම හේතුවෙන් මාර්ග වසා දමා අධික වාහන තදබදයක් පවතින බවත් පවසා ඔවුන්ව මුළා කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.


තවද, ඇතැම් අවස්ථාවලදී එම මාර්ගවල පිහිටි හෝටල්වල කළමනාකරුවන් ලෙස පෙනී සිටිමින්, සංචාරකයන්ට හිරිහැර වන අයුරින් ක්‍රියා කර, ඔවුන් දුර බැහැර ප්‍රදේශවල පිහිටි හෝටල් වෙත ත්‍රිරෝද රථ මගින් යොමු කර අසීමිත ලෙස මුදල් වංචා කර ඇති බවටද වාර්තා වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 46, 48 සහ 54 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් වැල්ලම්පිටිය, කැලණිය ප්‍රදේශයේ වේරගොඩ සහ ගල්බොරැල්ල මෙන්ම කඩවත පහළ කරගහමුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු ආරක්ෂිත රටක් බවට තවදුරටත් ඒත්තු ගැන්වීම අරමුණු කරගනිමින්, පාපැදි, යතුරුපැදි සහ ජංගම මුර සංචාර යොදා ගනිමින් සංචාරක පොලිස් කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කරන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.නාවික හා සංචාරක දිසා කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ මඟපෙන්වීම සහ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් විදාන ගමගේ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම දියත් කර තිබේ.