ඉන්දියාවේ බැංගලෝරයේ මෑත කාලීනව සිදුවූ වඩාත්ම සංවිධානාත්මක මංකොල්ලය ලෙස සැලකිය හැකි සිදුවීමක් ඊයේ (19 ) දින වාර්තා වූ අතර, එහිදී ඉන්දීය සංචිත බැංකුවේ (RBI) නිලධාරීන් ලෙස පෙනී සිටි සන්නද්ධ පිරිසක් විසින් මුදල් ප්‍රවාහන රථයක් හරස් කර රුපියල් කෝටි 7.11ක මුදලක් මහ දවල් කොල්ලකා පලා ගොස් තිබේ.
ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ඇති මෙම මෙහෙයුම අභ්‍යන්තර ඔත්තු සහ තොරතුරු මත සිදු වූවක් බවට ප්‍රබල සාක්ෂි ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.මෙම සිදුවීම ජයනගර් අශෝක ස්ථම්භය (Ashoka Pillar) ආසන්නයේ දහවල් 12:30ත් 1:00ත් අතර කාලය තුළ සිදුවී ඇති අතර, එච්.ඩී.එෆ්.සී බැංකු ශාඛාවකින් මුදල් පටවා ගත් සී.එම්.එස් (CMS) ආයතනයට අයත් වෑන් රථය කොල්ලකරුවන්ගේ ඉලක්කය විය. රජයේ නිල රථයක් ලෙස හැඟවෙන ස්ටිකරයක් අලවා ගත් ටොයෝටා ඉනෝවා රථයකින් සහ මාරුති සෙන් රථයකින් පැමිණි පස් දෙනෙකු හෝ හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථය අවහිර කර, තමන් ආර්.බී.අයි නිලධාරීන් බව පවසමින් ලියකියවිලි පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ආරක්ෂක නිලධාරීන් සහ අයකැමිවරයා වෑන් රථයෙන් පිටතට ගෙන ඇත. අනතුරුව වෑන් රථයේ රියදුරුට පමණක් වාහනය ඉදිරියට ධාවනය කරන ලෙස අණ කර, සෙසු කාර්ය මණ්ඩලය සැකකරුවන්ගේ වාහනයට බලහත්කාරයෙන් නංවාගෙන තිබේ.
ආරක්ෂිත කැමරා (CCTV) ආවරණය ඉතා දුර්වල ප්‍රදේශයක් ලෙස ඔවුන් විසින්ම තෝරාගෙන තිබූ ඩේරි සර්කල් (Dairy Circle) ගුවන් පාලම අසලදී, කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා තර්ජනය කර මුදල් පෙට්ටි සියල්ල තම වාහනයට මාරු කරගෙන ඇති අතර, සාක්ෂි වසන් කිරීමේ අරමුණින් වෑන් රථයේ සවි කර තිබූ ඩිජිටල් දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය (DVR) ද ගලවාගෙන ගොස් ඇත. වෑන් රථයේ ගමන් කළ ආරක්ෂක නිලධාරීන් සතුව බලපත්‍රලාභී ගිනි අවි තිබුණද, ඒවා වෑන් රථය තුළ දමා පැමිණීමට ඔවුන් කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.
මෙම මංකොල්ලය සඳහා අභ්‍යන්තර තොරතුරු අනිවාර්යයෙන්ම ලැබෙන්නට ඇති බවට බැංගලෝර් පොලිසිය දැඩි ලෙස සැක පළ කරන අතර, විශේෂයෙන්ම රියදුරු ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කිරීමේදී මුදල් ප්‍රමාණය සහ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ලබා දුන් ප්‍රකාශවල බරපතල පරස්පරතා ඇති බව හෙළි වී තිබේ. මුදල් රැගෙන යන වේලාවන්, ගමන් මාර්ගය සහ ආරක්ෂිත කැමරා මග හැරිය හැකි ස්ථාන පිළිබඳව කොල්ලකරුවන්ට තිබූ නිශ්චිත අවබෝධය හරහා මෙය කලින් සැලසුම් කළ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් බවට තහවුරු වන සාධක පවතී.
මංකොල්ලය සඳහා භාවිතා කළ ඉනෝවා රථයේ අංක තහඩු වෙනත් මාරුති ස්විෆ්ට් රථයකට අයත් ඒවා බවත්, පොලිස් ඇසට වැලි ගැසීම සඳහා ඔවුන් ඉනෝවා, සෙන් සහ වැගන් ආර් යන වාහන තුනක් භාවිතා කරමින් අතරමගදී වාහන මාරු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ස්ථාන රැසක සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු එක් සැකකරුවෙකු හඳුනා ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර, මොවුන් මීට පෙර ඒ.ටී.එම් කොල්ලකෑම්වලට සම්බන්ධ කණ්ඩායමක් විය හැකි බවටත්, අවසන් වරට හොසකෝට් මුරපොල පසුකර යන අයුරු නිරීක්ෂණය වී ඇති බවටත් තොරතුරු ලැබී තිබේ.
කර්නාටක ස්වදේශ කටයුතු අමාත්‍ය ජී. පරමේශ්වර මෙය බැංගලෝරයේ මීට පෙර නොවූ විරූ සිදුවීමක් ලෙස හඳුන්වා දුන් අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ශක්තිමත් හෝඩුවාවන් ලැබී ඇති බවත් ජනතාව බිය නොවිය යුතු බවත් ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්‍රය තුළ ද ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර, ප්‍රාන්තයේ නීතිය හා සාමය පිළිබඳව විපක්ෂය රජයට චෝදනා එල්ල කරද්දී, උසස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යටතේ සිද්ධිය පිළිබඳ පුළුල් සහ කඩිනම් විමර්ශනයක් දැනටමත් ක්‍රියාත්මක වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval