
ආණ්ඩුව විසින් හදිසියේ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ ද, ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර ඇති ‘මහජන හඬ’ රැළිය අනිවාර්යයෙන්ම පවත්වන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
ඊයේ (19) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වා දුන්නේ, විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරනු ලබන මෙම විරෝධතා රැලිය සඳහා වැඩිම ප්‍රචාරයක් ලබා දී ඇත්තේ ද ආණ්ඩුව විසින්ම බවයි. එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විපක්ෂයේ රැලියක් වෙනුවෙන් පාලක පක්ෂයක් විසින් ලබාදුන් ඉහළම ප්‍රචාරය ලෙස ඉතිහාසයට එක්වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.මෙම රැලිය සඳහා ඇති සීමිත සම්පත් සහ මුදල් ප්‍රතිපාදන මත ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ අභියෝගයක් සංවිධායකයන් හමුවේ තිබුණ ද, ජනාධිපතිවරයාගේ අයවැය කතාව, ඉල්විරු සමරු කතාව සහ පාර්ලිමේන්තු ප්‍රකාශයන් හරහා නුගේගොඩ රැලිය නිතර සිහිපත් කිරීම මගින් එම ප්‍රචාරක හිඩැස පුරවා දීමට රජය කටයුතු කර ඇතැයි ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය. වත්මන් පාලනයේ අවසානය සනිටුහන් කිරීමේ අරමුණින් පවත්වන මෙම රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් මෙන්ම බහුජන සංවිධාන ගණනාවක් ද එක්වීමට නියමිත බවත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සාමාන්‍ය ජනතාව අතර හිඳිමින් ඊට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බවත් හෙතෙම හෙළි කළේය.
නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ පවතින බිය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ අවදානමක් පවතින බව ද මන්ත්‍රීවරයා අනතුරු අඟවයි.
විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිත කරමින් නායකයන්ගේ රූප සහ හඬ යොදාගෙන රැලිය අවලංගු කළ බවට ව්‍යාජ පුවත් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් ජනතාව ඊට නොරැවටිය යුතු බව ඔහු ඉල්ලා සිටියේය. මහා වැසි හෝ සුළං ඇති වුවද, ආණ්ඩුව විසින් තහනම් නියෝග හෝ ඇඳිරි නීතිය පැනවුව ද සැලසුම් කළ පරිදිම 21 වැනිදා සවස නුගේගොඩදී මෙම ජන රැලිය පවත්වන බව උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් තහවුරු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval