45000-power-outages-due-to-inclement-weather

 දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. ඔවුන් පෙන්වා දෙන පරිදි මෙම ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා වාර්තා වී ඇති මුළු විදුලි බිඳවැටීම් සංඛ්‍යාව හතළිස් පන්දහසකට ආසන්නය.



මෙම හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (27) සවස් කාලය වන විට එම බිඳවැටීම් අතුරින් විසිදහසක් පමණ යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී තිබේ.


ඉතිරි බිඳවැටීම් ද කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණයත් සමඟ විදුලිය ඇනහිටීම් දැනුම් දීම සඳහා විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත. මෙම තදබදය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍යයන් භාවිත කරන ලෙස මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව, බිඳවැටීම් වාර්තා කිරීම සඳහා CEB Care ජංගම දුරකථන යෙදුම (App), cebcare වෙබ් අඩවිය හෝ 1987 කෙටි පණිවුඩ සේවාව භාවිත කිරීම වඩාත් ඵලදායී බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.