who-is-this-mathugama-shan-who-has-so-many-political-friends

 මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හඳුනාගෙන සිටින මතුගම ශාන් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බව වාර්තා වේ. ඔහු සම්බන්ධයෙන් පොලිසිය විසින් රතු වරෙන්තුවක් ද නිකුත් කර ඇති පසුබිමක, ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව ද ඔහුගේ නම මේ වන විට කරළියට පැමිණ තිබේ.


හතළිස් තුන්වන වියේ පසුවන මතුගම ප්‍රදේශයේ පදිංචි ප්‍රකට පාතාලකරුවෙකි. ඔහු මුලිත වශයෙන් දේශපාලන බලය භාවිතයෙන් කළ මැරකම් නිසා ප්‍රචලිතය. මුදල් පොලියට දීම, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම, සහ අනෙක් අපරාධ රැසකටද සම්බන්ධය. ඔහුගේ වැඩි ඇල්ම ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටය.

කළුතර දිස්ත්‍රික්කයට පාතාල නාමය හඳුන්වා දීමේ ප්‍රධාන චරිතය ලෙස 'මතුගම ශාන්' සැලකේ.  ඔහු මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිය දෙමාපියන්ගේ එකම දරුවා වූ ශාන්ට, ඔවුන් සතුව තිබූ සියලු වත්කම් උරුම විය. ඔවුන් අතිශය ධන කුවේරයන් නොවුණ ද, මතුගම ප්‍රදේශයේ යම් වත්කමක් සහිත, වැදගත් යැයි සම්මත පවුලක සාමාජිකයෙකු ලෙස ශාන් හැඳින්විණි.

වර්තමානයේ මතුගම පාතාලය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණ ද, ඊට දශක ගණනාවකට පෙර සිටම එම ප්‍රදේශය කේන්ද්‍ර කරගත් අපරාධ ක්‍රියා වාර්තා විය. එක්තරා යුගයක එම අපරාධ රැල්ල මෙහෙයවනු ලැබුවේ මහින්ද ලාල් සහ කේ.වී. ශාන්ත විසිනි. මතුගම පදිංචිකරුවන් නොවූ ඔවුන් මීගහතැන්න ප්‍රදේශයේ විසූ අතර, සිය පෞද්ගලික මිතුරෙකුගේ ඝාතනයකට පළිගැනීම සඳහා අපරාධ ලෝකයට පිවිසියහ. එම පළිගැනීම් මාලාව අවසන් වූයේ වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපතිවරයා ද ඔවුන් අතින් ඝාතනය වීමෙනි. එම සිදුවීමෙන් විශාල බලයක් අත්කරගත් ඔවුහු, එම බලය අයුතු ලෙස භාවිත කරමින් තවත් අපරාධ ගණනාවක නිරත වූහ. සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.




කලකට පසු ඇප මත නිදහස්ව පැමිණි ඔවුන්, බන්ධනාගාරයේදී හඳුනාගත් නව මිතුරෙකු ද කැටුව ආහ. මංජු නමැති ඔහු, බන්ධනාගාර සේවයේ නිරතව සිටියදී වැඩ තහනමට ලක්වූවෙකු මෙන්ම මතුගම පදිංචිකරුවෙකු ද විය. වාර්තා වන අන්දමට, මංජු යනු මතුගම ශාන්ගේ පෙම්වතිය සමග පසුව ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගත්, ඔවුන්ගේ පාසලේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. මෙම කාරණය මුල් කරගෙන ශාන් සහ මංජු අතර දැඩි ආරවුලක් පැවතිණි. කෙසේ වෙතත්, පසුකාලීනව මංජු, මහින්දලාල් සමග ද නොහොඳ නෝක්කාඩු ඇති කරගත් අතර, ඒ අතරතුර ඔහු වෙඩි තබා ඝාතනය කෙරිණ. එම ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න පැහැදිලි නැතත්, එහි චෝදනාව එල්ල වූයේ ශාන් වෙතටය.

2009 වසරේදී මංජුගේ ඝාතනය සම්බන්ධයෙන් ශාන් අත්අඩංගුවට පත් විය. ඔහු සමග තවත් පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකු, එනම් ආමි රොෂාන් සහ ඔහුගේ සහෝදරයා ද බන්ධනාගාර ගත විය. මෙම පිරිස හඳුනා ගැනීමට පෙර සිටම ශාන්ට බාහිර ලෝකයේ සමීප මිතුරන් දෙදෙනෙකු සිටියේය. ඒ ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ අසංක සහ ගයාන් කුමාර හෙවත් ගවරියා ය. පාසල් සමයේ සිටම මිතුරන් වූ මෙම තිදෙනා එකල මතුගම ප්‍රදේශයේ නම දරා සිටි අතර, ප්‍රදේශයේ සිදුවන බොහෝ ගැටුම්වලට ඔවුන්ගේ සම්බන්ධයක් පැවතිණි. පසුව, යුද හමුදාවේ සේවය කර පලා ආ බුද්ධික නමැත්තා ද ඔවුන්ගේ කල්ලියට එක් විය.

ශාන් සිරගතව සිටි කාලය තුළ, යුද පුහුණුව, අවි හැසිරවීමේ හැකියාව සහ ආයුධ සපයා ගැනීමේ සම්බන්ධතා පැවති බුද්ධික, ශාන්ගේ ස්ථානය අත්පත් කර ගැනීමට උත්සාහ කළේය. කෙසේ වෙතත්, ඊට වැඩි කලක් ඉඩ නොතැබූ ශාන්, බන්ධනාගාරයේ සිටම බුද්ධිකව ඝාතනය කිරීමට කටයුතු යෙදවීය.

ශාන් බන්ධනාගාරයෙන් නැවත නිදහස් වන විට 2010 මහ මැතිවරණය ආසන්න වී තිබිණ. එම අවස්ථාවේදී ඔහු සිය සගයන් ද සමග මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු සමග එක් විය. මේ අතර, මහින්දලාල් (කළුමල්ලී) සහ කේ.වී. ශාන්ත, බේරුවල ප්‍රදේශයේ දේශපාලනඥයෙකුට සහය දැක්වූහ. පසු කලෙක, කේ.වී. ශාන්තගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පැවැත්වූ දකුණු පළාතේ පුද්ගලයෙකුගේ නිවසට ගිය ශාන්ත, එම සම්බන්ධය නවත්වන ලෙස බල කරමින් වෙඩි තබා තර්ජනය කළේය. එහි ප්‍රතිඵලය වූයේ, ශාන්තගේ සතුරන් පිරිසක් එක්ව කොට්ටාවේදී ඔහුගේ ගෙල කපා, එම හිස මීගමුව ප්‍රදේශයට ගෙන ගොස් දැමීමය. මෙම සිදුවීම්වලින් බියට පත් මහින්දලාල් රටින් පළා ගියේය.

ශාන් 2010 මහ මැතිවරණයේදී සහය දැක්වූ දේශපාලනඥයා ඇමතිධුරයක් ලබා ගත් අතර, ඔහු යටතේ පැවති ආයතනයක සභාපති ධුරයක් ද ශාන්ට හිමි විය. එම දේශපාලන බලය භාවිත කරමින් ඔහු 'එල්ආර්සී ඉඩම්' ලෙස හැඳින්වූ රජයේ ඉඩම් අක්කර විස්සකට අධික ප්‍රමාණයක තේ වගාවක් ද ආරම්භ කළේය.

ශාන් සහ ඔහුගේ මිතුරන් දෙදෙනා පසුකාලීනව පාතාලයේ මිනීමරුවන් බවට පරිවර්තනය විය. පාසල් අධ්‍යාපනය අතරමග නතර කර සිටි ඔවුන්ට විශාල නිදහස් කාලයක් මෙන්ම, දෙමාපියන්ගේ වත්කම් අසීමිතව වියදම් කිරීමේ හැකියාවක් ද තිබිණි. රැකියාවක අවශ්‍යතාවක් නොතිබූ ඔවුහු, දේශපාලකයන් ඇසුරෙන් තමන්ට ලැබුණු බලය පිළිබඳව දැඩි උද්දාමයකින් පසුවූහ.

මෙම තිදෙනා අදාළ දේශපාලනඥයා වෙනුවෙන් පෝස්ටර් ඇලවීම, රැස්වීම්වලට ආරක්ෂාව සැපයීම සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පෙර ගමන් යාම වැනි කටයුතුවල නිරත වූහ. මේ හරහා මතුගම පොලිසියේ නිලධාරීන් හඳුනා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර, ඕනෑම කාරණයකට පොලිසියට ගිය ද ඔවුන්ට විශේෂ සැලකිල්ලක් හිමි විය. තමන්ට ලැබුණු මෙම බලය දරාගත නොහැකි වූ ඔවුන්ගේ, පාසල් සමයේ සිට පැවති චණ්ඩිකම් දේශපාලන රැකවරණය මත තවදුරටත් වර්ධනය විය. තමන්ට හෝ සිය දේශපාලන නායකයාට එරෙහිව අදහස් දක්වන පුද්ගලයන්ට පහර දීමට හෝ අවම වශයෙන් තර්ජනය කිරීමට හෝ ඔවුහු පෙළඹුණහ.

මැතිවරණයෙන් අනතුරුව, සිය දේශපාලන බලය සහ පවුල් පසුබිම යොදා ගනිමින් ශාන් ඇතුළු කණ්ඩායම මුදල් පොලියට දීම සහ බස් රථවලින් මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම ආරම්භ කළහ.


ඊට එරෙහි වන්නන්ට පහර දීමට හෝ කැපීමට කොටා තුවාල සිදු කිරීමට ශාන්ලා දෙවරක් සිතුවේ නැත. ගැටලුවක් ඇති වූ සැණින් ඔවුහු ක්ෂණික ප්‍රතිචාර දැක්වූහ. දේශපාලන සම්බන්ධතා හරහා අවි ආයුධ පරිහරණයට ද ඔවුන්ට අවස්ථාව ලැබිණ. පොලිසිය ඔවුන්ගේ නිතර යන එන තැනක් බවට පත්වීම නිසා, පහර කෑමට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කර ගැනීම සිහිනයක් විය. ශාන් හුදු ආධාරකරුවෙකු නොව, ඉහත කී ප්‍රබල දේශපාලනඥයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළේය. එම කාලය තුළ ඔහු මතුගම ක්‍රීඩාංගනයේදී සූදු පොළවල් පාලනය කළ 'සිඟිති' නමැත්තා ඝාතනය කළේය. මෙම ඝාතනයට ශාන්ගේ ගුරුවරයෙකු වූ උදය නමැත්තෙකු ද අත්අඩංගුවට පත් විය.

මේ ආකාරයට ශාන් ඇතුළු පිරිස අපරාධ ගණනාවක් සිදු කළ අතර, කණ්ඩායමේ ප්‍රධානියා වූ ශාන්ට එරෙහිව චෝදනා රැසක් ගොනු විය. ටී 56 ගිනි අවියක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබා ගැනීම, මතුගම යටදොළ ප්‍රදේශයේ සුරංග නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීම, ඩන්කන් නමැත්තා ඝාතනය කරවීම, වෑත්තෑව රෝහලේ වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීම, තමන්ට එරෙහි වූ කාන්තාවකගේ පියයුරක් කඩු පහරින් කපා දැමීම සහ මතුගම නවුත්තුඩුවේදී මෝටර් රථයකින් ගිය අයෙකු කපා කොටා ඝාතනය කිරීම ඒ අතර විය. මෙම සිදුවීම් බොහොමයකට ඔහු සහ කණ්ඩායම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතත්, මේ දක්වා ඔහුට එරෙහි ඝාතන චෝදනා කිසිවක් ඔප්පු කිරීමට බලධාරීන් සමත්ව නැත.

මෙම තිදෙනා (ශාන්, අසංක, ගවරියා) වෙන් වෙන්ව තමන්ගේ අනන්‍යතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීමත් සමග මතුගම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නොසන්සුන්කාරී කලාපයක් බවට පත් විය. ඔවුන්ට සහය දුන් ඇමතිවරයාගේ දේශපාලන බලය ද පසුගිය සමයේ පිරිහීමකට ලක් වූ අතර, එය ශාන්ලාගේ සහ අසංකලාගේ තත්ත්වයට ද සෘජුවම බලපෑවේය. අසංක විදේශ ගතවී, නැවත පැමිණ මතුගම නගරයේ කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ජංගම දුරකථන අලෙවි සැලක් ආරම්භ කරමින් ව්‍යාපාරිකයෙකු බවට පත් විය. ශාන් සිය දෙමාපිය උරුමයෙන් ලැබුණු තේ ඉඩම් බලා ගනිමින් සහ මුදල් පොලියට දෙමින් විශාල ධනයක් උපයා ගත්තේය. ඔහු සතුව මගී ප්‍රවාහනයේ යෙදවූ බස් රථ පහක් ද විය. 'ගවරියා' ද ශාන්ගෙන් වෙන්ව තනිවම මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් ඇරඹීය.

'ගවරියා' ස්වාධීනව කටයුතු කිරීම ශාන්ගේ නොසතුටට හේතු විය. ඔහුට අවශ්‍ය වූයේ ගවරියා තමන් යටතේම තබා ගැනීමටය. දේශපාලන බලය ද බිඳ වැටී තිබූ මොහොතක, ගවරියාගේ වෙන්වීම බලය බෙදී යාමක් ලෙස ශාන් දුටුවේය. මුලින්ම මුහුණු පොත හරහා ආරම්භ වූ මෙම ගැටුම, පසුව එකිනෙකා මුණගැසී පහර දී ගන්නා තත්ත්වයට වර්ධනය විය. අසංක ද ගවරියාගේ පාර්ශ්වය ගෙන ඇති බව ශාන්ට දැන ගන්නට ලැබිණි.

මේ සියල්ල මධ්‍යයේ තනිවන බවක් හැඟී ගිය ශාන් මතුගමින් පිටවීමට තීරණය කළේය. ඔහු සිය දරුවන් කොළඹ පාසල්වලට ඇතුළත් කළ බවට ද තොරතුරු වාර්තා විය. මේ අතරතුර, ශාන් අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. ඉන් අනතුරුව ශාන් කිසිවෙකුත් දැක නැත. පැරණි නඩු දේශපාලන බලයෙන් යටපත් කරගෙන සිටිය ද, එම රැකවරණය නොමැතිව එම නඩු යළි සක්‍රීය විය හැකි බවට සැක කළ ඔහු, නව දේශපාලන රැකවරණයක් ලැබෙන තුරු විදේශ ගතව සිටීමට තීරණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුත්, ඔහු මේ වන විට සිටින ස්ථානයක් කිසිවෙකුත් නිශ්චිතව දන්නේ නැත.

මෙම තත්ත්වය මැද, මතුගම නගරයේ ශාන් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයකට කඩා වැදුණු පිරිසක් එය විනාශ කර දැමූහ. මෙම සිදුවීම වූ ස්ථානයට අසංක ද පැමිණි බවට තොරතුරු පැවසේ. මෙම ක්‍රියාවෙන් ශාන් දැඩි ලෙස කෝපයට පත් වූ අතර, ඔහු වහාම තමන් දන්නා හඳුනන පිරිසක් ගවරියාගෙන් සහ අසංකගෙන් පළි ගැනීම සඳහා අසංකගේ නිවසට පිටත් කර හැරියේය.

අවි ආයුධ රැගෙන පැමිණි ඝාතකයන් දුටු අසංකගේ බිරිඳ බියට පත්ව මහ හඬින් කෑ ගැසුවාය. එම හඬ ඇසී අසංක සිය දරුවන් දෙදෙනා ද සමග කාමරයකට වැදී සැඟවිණි. අසංකව සොයා පැමිණි ඝාතකයෝ ඔහු සිටි කාමරයට ද වෙඩි ප්‍රහාර එල්ල කළහ.

සිය සැමියාට කරදරයක් නොකරන ලෙස අසංකගේ බිරිඳ ඝාතකයන්ගෙන් ඉල්ලා සිටිය ද, එක් අයෙකු ඇයව පසෙකට තල්ලු කර දැමූ අතර, ඇය ක්ලාන්තව බිම ඇද වැටුණි. අනතුරුව ඝාතකයෝ බිම වැටී සිටි එම කාන්තාවට වෙඩි තබා ඝාතනය කර පළා ගියහ. මෙය ශාන්ගේ පළිගැනීමේ ක්‍රමවේදය බව පැවසේ.

දේශපාලනයට පිවිසීමේ දැඩි උනන්දුවකින් පසුවන ශාන්, අනාගතයේදී එසේ ප්‍රවිශ්ට වුවහොත්, මතුගමට පාතාලය යළි පැමිණෙනු ඇත්තේ පෙරට වඩා ඉහළ සම්බන්ධතා ජාලයක් ද සමගිනි. ඔහුට දකුණේ කොස්ගොඩ සුජී, කොළඹ මොරටුවේ කුඩු අංජු මෙන්ම, කලක් අංජුගේ විරුද්ධවාදියෙකු වූ රත්මලානේ ගොනාකෝවිලේ රොහා සමග ද සම්බන්ධකම් පැවතිණි. තවද, පානදුර ප්‍රදේශයේ මෑතකාලීන ඝාතන රැසකට සම්බන්ධ බව කියන සළිඳු සමග ද ඔහු සමීප සබඳතා පවත්වා ඇත. 

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පළා ගිය ඉෂාරා සෙව්වන්දි නමැත්තියට රැකවරණය දීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ නැන්දණිය සහ මතුගම ශාන්ගේ පාසල් මිතුරෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ මස්සිනා, මතුගම ශාන්ගේ සමීපතමයෙකු බවයි. එම සමීපතමයාගේ ඉල්ලීම මත සැකකාරිය පළමුව වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි කොස්තාපල්වරයාගේ නැන්දණියගේ නිවසේ දින දෙකක් සඟවා තබා ඇත.

ඉන් අනතුරුව ඇය දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් ඇති අතර, එම නිවස මතුගම ශාන්ගේ පාසල් මිතුරෙකුට අයත් එකක් බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ ද එම පාසල් මිතුරාය. ඉෂාරා සෙව්වන්දි මාසයකට ආසන්න කාලයක් එම නිවසේ රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මතුගම ශාන් සිය මිතුරන් සමග ගත් ඡායාරූප සමාජ මාධ්‍ය තුළ දැන් හුවමාරුවන්නේ පහත පරිදිය.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7


gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10