ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය ප්‍රචලිත කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ එච්.එස්.බී.සී. බැංකුව, සිය පාරිභෝගික බැංකු මෙහෙයුම් මෙරටින් අවසන් කිරීමට පියවර ගනිමින් සිටී. එම බැංකුවේ සමස්ත පාරිභෝගික බැංකු ව්‍යාපාරය, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (එන්.ටී.බී.) විසින් රුපියල් බිලියන දහඅටක වටිනාකමකින් යුතු ගනුදෙනුවක් හරහා අත්පත් කරගැනීමත් සමග මෙම තීරණය ක්‍රියාත්මක වේ.
ලොව විශාලතම මූල්‍ය ආයතනයක් වන එච්.එස්.බී.සී. බැංකුව සතුව ඇමරිකානු ඩොලර් බිලියන තුන්දහස් දෙසීයකට අධික දැවැන්ත වත්කම් පදනමක් පවතී.
වර්ෂ 1895 දී හොංකොං හිදී ආරම්භ වූ එච්.එස්.බී.සී. බැංකුව, සිය පළමු දශකය තුළදීම ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා ව්‍යාප්ත විය. ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සිය ප්‍රමුඛ අරමුණ කරගත් මෙම බැංකුව, ඓතිහාසික සේද මාවත ආශ්‍රිතව පිහිටි ජපානයේ යොකොහොමා, ඉන්දියාවේ කල්කටා, වියට්නාමයේ හෝචි මිං සහ පිලිපීනයේ මැනිලා වැනි නගරවල සිය ශාඛා පිහිටුවන ලදී.
මේ වන විට එම බැංකුව ලෝකය පුරා රටවල් පනස් හතක සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටී.
ශ්‍රී ලංකාව වැනි සාපේක්ෂව කුඩා වෙළෙඳපොළක්, එච්.එස්.බී.සී. වැනි දැවැන්ත මූල්‍ය ආයතනයක ගෝලීය මෙහෙයුම් ජාලයට නොගැලපීම හේතුවෙන්, කලක සිටම මෙරට සිය මෙහෙයුම් ක්‍රමානුකූලව සීමා කිරීමට බැංකුව කටයුතු කළේය. එහි එක් ප්‍රධාන පියවරක් ලෙස පුද්ගලික ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළත් පාරිභෝගික බැංකු ව්‍යාපාරය වෙනත් බැංකුවකට පැවරීමට තීරණය කෙරිණි.
මෙම අත්පත් කරගැනීමත් සමග එච්.එස්.බී.සී. බැංකුවේ පාරිභෝගිකයන්ගේ සියලුම ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ ලබාගෙන ඇති ණය පහසුකම් එන්.ටී.බී. බැංකුව වෙත පැවරෙනු ඇත. කෙසේ වෙතත්, මෙම සමස්ත ක්‍රියාවලිය ක්ෂණිකව සිදු නොවන අතර, ශ්‍රී ලංකාවේ බැංකු කටයුතු නියාමනය කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණය සහ අනුමැතියට යටත් වනු ඇත. අවශ්‍ය නියාමන අනුමැතීන් ලබාගැනීමෙන් අනතුරුව, ලබන වසරේ මුල් කාර්තුව වන විට ගිණුම් හුවමාරු කිරීමේ කටයුතු සම්පූර්ණ කළ හැකි වනු ඇතැයි එච්.එස්.බී.සී. බැංකුව අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙකුට අනුව, මෙම ඒකාබද්ධ වීම තුළින් ගනුදෙනුකරුවන්ගේ තැන්පත් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම්වලට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බවට සහතික වී තිබේ.
මෙම වෙනසත් සමග එච්.එස්.බී.සී. බැංකුව ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවන අතර, සිය ආයතනික සහ මහා පරිමාණ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා වන සේවාවන් අඛණ්ඩව සපයනු ලබයි. වෙළෙඳ, ගෙවීම් සහ මුදල් කළමනාකරණය, සුරැකුම්පත් සේවා වැනි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉහළ ගුණාත්මක සේවාවන් පෙර පරිදිම දැවැන්ත සමාගම් සහ මූල්‍ය ආයතන වෙත ලබා දෙන බවට එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම ගනුදෙනුව හේතුවෙන් එච්.එස්.බී.සී. බැංකුවේ සේවකයන්ට කිසිදු අගතියක් සිදු නොවන බවට බැංකු දෙකම වගබලාගෙන ඇත. අදාළ අංශයේ සේවය කළ සේවකයන් හාරසිය පනහකට ආසන්න පිරිසක් එන්.ටී.බී. බැංකුව වෙත අනුයුක්ත කර ගැනීමට එකඟතාව පළ වී තිබේ. පසුගිය සැප්තැම්බර් 23 වන අඟහරුවාදා මෙම ගනුදෙනුව පිළිබඳව එන්.ටී.බී. බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීමත් සමග, එහි කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. පළමු දිනයේදී රුපියල් අසූවකින් අනූවකින් පමණ ඉහළ ගිය කොටස් වටිනාකම, දෙවන දිනය වන විට තවත් රුපියල් විස්සකින් තිහකින් ඉහළ යමින් ආයෝජකයන්ට සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්කර දුන්නේය. මීට පෙර රුහුණු සහ ඌව සංවර්ධන බැංකු වැනි රාජ්‍ය බැංකු ඒකාබද්ධ කර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටවූවද, මෙවැනි පෞද්ගලික සහ ජාත්‍යන්තර බැංකු දෙකක් ඒකාබද්ධ වීම මෙරට බැංකු ක්ෂේත්‍රයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval