wasims-murder-if-you-can-prove-it-was-rajapaksas-work-show-it-namal-holds-a-media-conference

 වසිම් තාජුඩීන් හට යම් අසාධාරණයක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එසේ නොකිරීම වසිම් තාජුඩීන්ගේ ආත්මයට සිදුකරන බරපතල අසාධාරණයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.



ඔක්තෝබර් 01 වන දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. වත්මන් රජය මෙන්ම පූර්ව යහපාලන රජයද තාජුඩීන් සිදුවීම මුල් කරගනිමින් රාජපක්ෂ පවුල ඉලක්ක කර අභූත චෝදනා ගොඩනැගූ බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මෙම නඩුවට අදාළව නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් බලහත්කාරයෙන් අසත්‍ය සාක්ෂි ලබා ගැනීමට එකල නිලධාරීන් ක්‍රියා කළ බවත්, එම නිලධාරීන්ම අද දවසේ වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු හොබවන බවත් රාජපක්ෂ මහතා චෝදනා කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් බලයේ සිටින ආණ්ඩු සතුටු කිරීමට උත්සාහ දරන බවද හෙතෙම කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම තුළින් පෙනී යන්නේ මෙම නඩුව සම්බන්ධයෙන් දේශපාලන කතිකාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුව විවිධ ප්‍රශ්න හමුවේ අපහසුතාවට පත්වන සෑම අවස්ථාවකදීම ජනතා අවධානය වෙනතක යොමු කිරීම සඳහා මෙවැනි සිදුවීම් මතු කරන බවත්, වරායෙන් අතුරුදන් වූ කන්ටේනර් පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දෙනු වෙනුවට තාජුඩීන් සිදුවීම ඉස්මතු කිරීමට උත්සහ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අධිකරණ ක්‍රියාවලියට හෝ පරීක්ෂණ කටයුතුවලට අගතියක් වන අයුරින් යම් නිලධාරියෙකු හෝ පුද්ගලයෙකු රජයේ අවශ්‍යතාව මත මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්නේ නම්, ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවටද නාමල් රාජපක්ෂ මහතා අනතුරු ඇඟවීය.



මේ ආණ්ඩුව බලයට එන්නත්, බලයට  එන්න කලින් හිටපු යහපාලන ආණ්ඩුවත් මේ  රාජපක්ෂලා කේන්ද්‍ර කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගුවා.  අපි ගැන 2015 ඉඳන් පරීක්ෂණ කටයුතු කෙරුවා. තමන්ට මැතිවරණ වේදිකාවල කියපු කාරණා බොරු සත්‍ය කරන්න උත්සාහ කළා. අපි දැක්කා ඔය තාජුඩීන්ගේ කේස් එක සම්බන්ධයෙන් නාරහෙන්පිට ඕ අයි සී මහත්තයව ගෙනිහිල්ලා බලහත්කාරයෙන් බොරු සාක්කි කියවගන්නත් එදා හිටපු නිලධාරීන් කටයුතු කළා. ඒ නිලධාරින් ම තමයි අද ඉහළ පුටුවල වාඩිවෙලා මේ ආණ්ඩුව ඇතුලෙත් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා පහුගිය දිනවල හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්කි කියන්න බලපෑම් කරා කියලා පොලිසියෙ නිලධාරියෙක් අධිකරණයට ගිහිල්ල තියෙනවා.




මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  නිරන්තරයෙන් බොරු  සාක්කි හදලා තමන්ගේ ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කළා. මං දැක්කා ඊයේ දිනයේදීත් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා යම් මාධ්‍යයට කරුණු දක්වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්විය යුත්තේ මාධ්‍යට නෙවෙයි අධිකරණයට. අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න ඕනේ කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරනවා කියන්නෙම තමන්ට මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනගන්න තියෙන උවමනාව. ඉතින් අපි අදත් ආණ්ඩුවට කියන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන්න. මේ සියලු කාරණා ගැන හොයලා බලන්න. යම් කිසි කෙනෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා ඉණට අත තියන් ඉන්නවා කියලා හඳුන ගත්තනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහට ම  ඒ ඇයගේ ස්වාමිපුරුෂයාද ඇය පහුගිය දිනවල කොහෙද ජීවත් වුණේ කාත් එක්කද හිටියේ කවුද ඇසුරු කළේ කියන කාරණාවත් ආණ්ඩුව සහ පොලිසිය හොයලා බලන්න ඕන.

ඒ වගේම තමයි මේ තාජුඩීන් සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලන වේදිකාව නිර්මාණය කරගන්න මහන්සි වෙන්නෙ නැතුව ඔහු යම්කිසි අසාධාරණයකට ලක්වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සාධාරණව අපක්ෂපාතික කරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ ඔහුගේ ආත්මෙටත් කරන ලොකු අසාධාරණයක්. යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ඨ කරගන්න ආණ්ඩුවේ දේශපාලන වාසිය සහ ආණ්ඩුවෙ  දේශපාලන අවස්ථාව ඉෂ්ට කරගන්න, දැන් පහුගිය කාලෙ  අයිස් සතිය තිබ්බා රනිල් සතිය තිබ්බා. දැන් ඇවිල්ල තියෙනවා තාජුඩීන්ගේ සතිය. ඉදිරි කාලසීමාවේදී මොන මොන සති මේ ආණ්ඩුවෙන් එළියට ගෙනෙයිද දන්නේ නැහැ. අපි කියන්නේ ආණ්ඩුවට කරුණාකරලා මේ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතිව  කරන්න.




ආණ්ඩුව අපි ගමින් ගමට යනකොට ගම්වලට ගිහින් ජනතාව එක්ක ඒක රාශි වෙනකොට ආණ්ඩුව කියපු බොරු. රොකට්එක සම්බන්ධයෙන් බොරු කිවුවෙ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ අපි නෙමෙයි.ඒ රොකට් එක පැලවත්තට කඩන් වැටුනම අනිත් පැත්තෙන් නෙලුම් කුලුන ණය කුලුන කියපු අයට නෙලුම් කලුන ලාබ ලබන ආයතනයක් කියලා ප්‍රකාශට පත් කරන්න වුනාම නිරන්තරයෙන් බොරු චෝදනා හදලා අපේ ඇගේ ගහන්න උත්සහ කලාම කන්ටේනර් පන්නපු අයගේ නම ඇහුවම වරායෙන් කන්ටේනර් 323 හා අර කියන කන්ටේනර් දෙක එලියට දාන්න කවුද අවසර දුන්නේ කියලා නම කියන්න කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කලාම තමන්ට ඒ එලියට දාපු කෙනාගේ නම කිවුවොත් මේ කනටේනර් 323ත අර කුඩු කන්ටේනර් දෙකත් පැලවත්තට කඩන් වැටෙන නිසා තජුඩීන්ව ගොඩගන්න උත්සහ කරනවා.

ආණ්ඩුව නිරන්තරයෙන් තමන්ව ප්‍රශ්න කරන අවස්ථාවේදී ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට ඒ ප්‍රශ්න යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා අපක්ෂපාතිව පරීක්ෂණ කරන්න.සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඒ වගේම තමයි මේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වෙන්න පුළුවන් යම්කිසි වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවෙ වුවමනාව මත මාධ්‍යට ඇවිල්ලා බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොතින් අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්‍ෂණකටයුතුවලට අගතියට පත්වෙන විදියට තමන්ගේ ප්‍රකාශන කටයුතු කරන්න ලෑස්ති වෙනවා නම් ඒ පිළිබඳවත් අප ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා.