court-of-appeal-orders-investigation-into-release-of-vehicles-held-at-customs-on-bail

ශ්‍රී ලංකා රේගු භාරයේ රඳවාගෙන සිටින ආනයනික වාහන, සමාගම් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදා හැරීමේ හැකියාව පිළිබඳව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් ලබන 10 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම විය.



අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ, වාහන ආනයනකරුවන් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් 15ක් ඊයේ (30) කැඳවූ අවස්ථාවේදීය.

ණයවර ලිපි විවෘත කිරීමෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද සිය වාහන නීති විරෝධී ලෙස රේගුව රඳවාගෙන සිටින බව පවසමින් එම වාහන නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, රේගු රෙගුලාසිවලට අනුකූලව මෙම වාහන ආනයනය කර තිබියදී ඒවා රඳවා තබාගැනීම නීතියට පටහැනි බවය. එමෙන්ම, සියයට 35ක අධිභාරයක් ගෙවා වාහන නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට තම සේවාදායකයින් තරයේ විරුද්ධ වන බවද ඔවුහු අවධාරණය කළහ. වාහන දිගින් දිගටම රඳවා තබාගැනීම නිසා ඒවාට හිරු රශ්මියෙන් සහ වෙනත් බාහිර සාධකවලින් හානි සිදුවිය හැකි බවත්, එම හානි සඳහා රක්ෂණ වන්දියක් ලබාගත නොහැකි බවත් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.



මෙහිදී විනිසුරු මඩුල්ල, රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාට උපදෙස් දුන්නේ, යෝජිත සියයට 35ක අධිභාරය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා ගැටලුව සමථයකට පත්කර ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසය. අදාළ පෙත්සම් නැවත සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 22 වන දින කැඳවීමටද අධිකරණය නියෝග කළේය.