පෙබරවාරි 19 වන දින කොළඹ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී නවතම තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. මෙම ඝාතනයේ වෙඩික්කරු වූ කමාන්ඩෝ සමිඳුට ගිනි අවිය රැගෙන විත් දුන් සෙව්වන්දි නමැති කාන්තාවට සහය දීමේ චෝදනාව මත ගම්පහ, කඩවත ප්‍රදේශයේ නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා ගිනි අවිය රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තියට, නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන උසාවි භූමියට ඇතුළු වීමට ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර දීමේ චෝදනාව මත පනස් පස් හැවිරිදි නීතිඥවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (28) රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, තමරා අබේරත්න නමැති ඇය සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.
මෙම නීතිඥවරිය මෑතකදී සිය සමාජ මාධ්‍ය ගිණුමේ, පොලිස් විමර්ශන සහ සැකකරුවන්ගේ ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම විවේචනය කරමින් ජනාධිපති නීතිඥවරයෙකු පළ කළ සටහනක් ද බෙදාගෙන තිබීම විශේෂත්වයකි. සැකකරුවෙකු පසුව අධිකරණයෙන් නිදොස් වුවහොත්, මාධ්‍ය ප්‍රචාරය මගින් ඔහුගේ කීර්තිනාමයට සිදුවන හානියට වන්දි ගෙවන්නේ කවුරුන්ද යන්න එම සටහනින් ප්‍රශ්න කර තිබිණි.
පසුගිය පෙබරවාරි 19 වන දා සිදු වූ මෙම ඝාතන සැලසුම සඳහා, සැකකාර නීතිඥවරිය විසින් ගිනි අවිය සඟවාගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ ග්‍රන්ථයක් ඇතුළු පොත් ද්විත්වයක් ද සැපයූ බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත. කඩවත, ගම්පහ සහ මහර යන අධිකරණවල සේවය කර ඇති මෙම නීතිඥවරිය, වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීමට අවශ්‍ය නීතිඥ ටයි පටි මෙන්ම නීතිඥවරුන් භාවිත කරන වාහන අවසර පත්‍රයක් ද ලබා දී ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.
මෙම ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත සකස් කිරීම සඳහා සැකකාරිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් තමන් වෙත නිකුත් කර තිබූ නිල හැඳුනුම්පතම භාවිත කර ඇති බවට රහස් පොලිසිය තොරතුරු තහවුරු කරගෙන තිබේ. ඉෂාරා සෙව්වන්දිගේ ඡායාරූපය යොදා එලෙස සකස් කරන ලද ව්‍යාජ හැඳුනුම්පතේ යොදා ඇත්තේ ද අත්අඩංගුවට ගත් නීතිඥවරියගේම අත්සන බව විමර්ශන නිලධාරීන් විසින් තහවුරු කරගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මීට අමතරව, ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු කොමාන්ඩෝ සෙබළාට ද නීතිඥවරයකු ලෙස වෙස්වලාගෙන යාමට අවශ්‍ය නීතිඥ ලාංඡනය සහිත ටයි පටියක් සහ වාහන ස්ටිකරයක් ලබා දී ඇත්තේද මෙම සැකකාරිය බවට පරීක්ෂණවලින් හෙළි වී තිබේ. පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පාතාල වෙඩික්කරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ද මීට සමාන ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සොයාගෙන ඇති අතර, එයද සකස් කර දෙනු ලැබුවේ අත්අඩංගුවට ගත් නීතිඥවරිය විසින් දැයි අනාවරණය කර ගැනීමට රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම ඝාතන සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම නීතිඥවරිය පිළිබඳව පළමු තොරතුරු අනාවරණය වී තිබිණි. පසුව, නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී එම තොරතුරු තවදුරටත් තහවුරු වී ඇති බව විමර්ශන අංශ පවසයි.
මෙම කටයුතු ඉටු කිරීම වෙනුවෙන් සැකකාර නීතිඥවරියට රුපියල් ලක්ෂ ගණනක මුදලක් ලැබී ඇති බවට රහස් පොලිසිය සැක කරන අතර, 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් ලැබුණු මුදල් ඇයගේ ගිණුම්වල තැන්පත් කර ඇත්දැයි සොයා බැලීම සඳහා අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියමිතය.
දඹුල්ල ප්‍රදේශය සිය ගම් පළාත කරගත් මෙම සැකකාරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති, දරුවන් සිටින මවක් බව ෆේස්බුක් ගිණුම් තොරතුරුවලට අනුව අනාවරණය වී තිබේ.
සැකකාර නීතිඥවරිය පරිහරණය කළ ජංගම දුරකථනයට අදාළව අධිකරණ නියෝග මත දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට ද රහස් පොලිසිය පියවර ගනිමින් සිටී. ඇය පසුගිය ජුනි මාසයේදී කටුනායක ගුවන්තොටුපොළෙන් සිංගප්පූරුව හරහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වන අතර, පසුගිය කාලය තුළ කුලී පදනම මත නිවාස ලබා ගනිමින් ඇය සිය පදිංචිය ද වෙනස් කර ඇති බවට තොරතුරු ලැබී ඇත. රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval