there-will-be-no-increase-in-electricity-rates-this-year

 මෙම වසර අවසන් වන තෙක් විදුලි ගාස්තු ඉහළ නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා ඊයේ (14) දින කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේ, දැනට පවතින විදුලි ගාස්තු මට්ටමම වසරේ ඉතිරි මාස තුන සඳහාත් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. විදුලි ගාස්තු පිළිබඳ මීළඟ සමාලෝචනය ලබන වසරේ ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බවද ඔහු කීය.

ලංකා විදුලිබල මණ්ඩලය 2024 වසරේ අවසන් කාර්තුවේදී සහ මෙම වසරේ මුල් කාර්තු දෙකේදී උපයා ඇති අතිරික්ත ආදායම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව සභාපතිවරයා පැවසීය. එම අතිරික්තයෙන් රුපියල් මිලියන 8,487 ක ප්‍රතිලාභයක් මෙවර ජනතාවට පිරිනැමීමට කොමිසම කටයුතු කර ඇත. විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේදී පමණක් රුපියල් මිලියන 22,857 ක ලාභයක් උපයා තිබූ අතර,



ඉන් තුනෙන් එකක මුදලක් (රු. මිලියන 8,487) මෙලෙස ගාස්තු ස්ථාවරව තබා ගැනීම සඳහා ගළපා ගෙන තිබේ.

එම ලාභයේ ඉතිරි තුනෙන් දෙකක කොටස වන රුපියල් මිලියන 16,975 ක මුදල, ලබන වසරේ (2026) පළමු කාර්තුවේ සිදු කෙරෙන විදුලි ගාස්තු සංශෝධනයේදී ගැලපීමට තීරණය කළ බවත්, එමගින් විදුලි ගාස්තුව අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවත් මහාචාර්ය චන්ද්‍රලාල් මහතා විශ්වාසය පළ කළේය. 2024 වසරේ සිට මේ දක්වා සිදුකළ ගාස්තු සංශෝධන 5 හේ ප්‍රතිඵලයක් ලෙස, 2024 ජනවාරි මාසයේ පැවති ගාස්තුව හා සසඳන විට වත්මන් විදුලි ගාස්තුව සියයට 44.3 කින් අඩු මට්ටමක පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශ්ව රැසක් ගාස්තු ස්ථාවරව තබාගන්නා ලෙස කළ ඉල්ලීම, විදුලිබල මණ්ඩලයේ අතිරික්ත ආදායම පාරිභෝගිකයාට විතැන් කිරීම, විදුලි ජනනයට සාධාරණ මිලට ඉන්ධන මිලදී ගැනීමට නියෝග කිරීම සහ වසරකට සිව් වරක් ගාස්තු සංශෝධනය කිරීම තාර්කික නොවන බවට කොමිසම දරන ස්ථාවරය මෙම තීරණයට හේතු වූ බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය අගෝස්තු මස 27 වැනිදා මෙම වසරේ අවසන් කාර්තුව සඳහා රුපියල් කෝටි 770 ක (රු. බිලියන 7.7) ආදායම් හිඟයක් පෙන්වමින් සියයට 6.8 ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබුණි.



ඉන් අනතුරුව එම මණ්ඩලය තවත් ලිපි දෙකක් මගින් සිය ආදායම් හිඟය රුපියල් කෝටි 2,080 ක් ලෙස දක්වමින් ඊටත් වඩා ඉහළ ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කළ බවද මෙහිදී හෙළි විය.

කෙසේ වෙතත්, ලංවිම යෝජනාව පිළිබඳව මහජන උපදේශන පැවැත්වීමෙන් සහ කාර්ය මණ්ඩල විශ්ලේෂණයකින් අනතුරුව, ඉදිරිපත් කළ වියදම් වාර්තාවල අකාර්යක්ෂම වියදම් කපා හැරීමට කොමිසම කටයුතු කළ බව මහාචාර්ය චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය. විදුලි ගාස්තුව රටේ සියලු තීරණවලට බලපාන සංවේදී කරුණක් බැවින් එය ස්ථායීව පවත්වාගෙන යා යුතු බවට රජයද ස්ථාවරයක සිටින බව ඔහු කීය.

මෙම තීරණයත් සමග, පිරිවැය ගිණුම් සැකසීම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වලට එළැඹීම සහ 2024 වසරේදී ලංවිම ලැබූ රුපියල් මිලියන 60,461 ක අතිරික්තය සම්බන්ධයෙන් චෝහාරික විගණනයක් සිදු කිරීම ඇතුළු කොන්දේසි 7 ක් විදුලිබල මණ්ඩලයට සහ ලෙකෝ සමාගමට පැනවීමටද කොමිසම පියවර ගෙන ඇත. තවද, විදුලි ජනනය සඳහා තරගකාරී මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගත යුතු බවට මීට පෙර පැනවූ කොන්දේසිය තවදුරටත් බලාත්මක කිරීමටද කටයුතු කර තිබේ. විදුලිබල පනතේ ප්‍රතිපාදන සහ අනුමත මිල සූත්‍රයට අනුකූලව කොමිසම කටයුතු කරන බව අවධාරණය කළ සභාපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල නිර්ණායක සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට වගකීමක් නොමැති බවද වැඩිදුරටත් පැවසීය.