there-is-no-one-to-take-care-of-the-child-backo-samans-wife-released-on-bail

 "බැකෝ සමන්" නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි නමැති සැකකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (31) නියෝග කළේය.
ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදා හැරීමට නියම කෙරිණි.



මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 115(2) වගන්තිය යටතේ මෙන්ම විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(1) වගන්තිය යටතේ ද සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබාගැනීම සඳහා පැමිණිල්ල විසින් අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බවයි. 



ඇගේ නීතීඥයින් දිගින් දිගටම අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුනේ ඇගේ දරුවා බලාගැනීමට කිසිවෙකු නැති නිසා ඇප ඉක්මනින් අවශය බවයි.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකාරියට ඇප නියම කරන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

සැකකාරියට විදෙස් ගමන් තහනමක් පැනවූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස නියෝග කළේය. කෙසේ වෙතත්, එම ගුවන් ගමන් බලපත්‍රය මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. අදාළ විදෙස් ගමන් තහනම පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මීට අමතරව, සැකකාරිය සෑම ඉරු දිනකම උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට ද කොන්දේසියක් පැනවිණි.

විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ සහ සිය පවුලේ ඥාතීන් සමග රුපියල් මිලියන 147ක බැංකු ගනුදෙනු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. ඇය සිය දරුවා සමග බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සහ සැකකාරිය වෙනුවෙන් නීතිඥ ලක්මාල් රත්නායක මහතා පෙනී සිටියහ.

නඩුවට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජනවාරි මස 22 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරමින් නඩුව යළි එදිනට කැඳවීමට ද නියම කළේය.