ජපානයේ වෙසෙන දානපතියෙකු විසින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර මියයන රෝගීන්ගේ දේහයන් ඔවුන්ගේ ගම්බිම් වෙත නොමිලයේ ප්‍රවාහනය කිරීම සඳහා පරිත්‍යාග කරන ලද ගිලන් රථයක් රේගු බදු ගැටලුවක් හේතුවෙන් මාස 19ක කාලයක් තිස්සේ වරායේ රඳවාගෙන ඇති බව මහරගම අපේක්ෂා රෝහල් විහාරාධිපති පූජ්‍ය හේනේගම ධම්මාධාර හිමියෝ පවසති.
පෙරේදා (15) දින අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උන්වහන්සේ, 2024 වසරේ මාර්තු මස 04 වන දින ලැබුණු මෙම පරිත්‍යාගය මුදා ගැනීම සඳහා මුලින් රුපියල් ලක්ෂ 71ක තීරු බද්දක් නියම වූවද, පසුව එය වැරදීමකින් සටහන් වූවක් බව පවසා රුපියල් ලක්ෂ 322ක මුදලක් ඉල්ලා සිටි බව සඳහන් කළහ.
මෙම ගිලන් රථය තමන් වහන්සේගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නොව, අපේක්ෂා රෝහලේදී මියයන අසරණ රෝගීන්ගේ දේහයන් ශතයක්වත් අය නොකොට ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන ගොස් දීමට බව පෙන්වා දෙන ධම්මාධාර හිමියන්, මෙම ගැටලුව සඳහා මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටියහ.
මෙය කිසිසේත්ම ව්‍යාපාරයක් නොවන බව අවධාරණය කළ උන්වහන්සේ, මෙම වාහනය නිදහස් කර දීමට නොහැකි නම් ජනාධිපති අරමුදලින් හෝ අදාළ බදු මුදල ගෙවා දෙන ලෙස ඉල්ලීමක් කළහ. දේහය තැන්පත් කරන ලද මිනී පෙට්ටිය ප්‍රවාහනය කිරීමට හැකිවන පරිදි විශේෂයෙන් සකසා ඇති මෙම රථය, මියගිය පුද්ගලයාගේ දේහයවත් ගමට ගෙන යාමට වත්කමක් නොමැති අසරණ පවුල් උදෙසාම බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
එවැනි ඇතැම් පවුල්වල අවසන් කටයුතු සඳහා අවශ්‍ය පාංශුකූලය ඇතුළු සියලුම ආගමික වතාවත් සිදුකර දේහය ගමට ගෙන ගොස් භාරදීමේ වැඩසටහනක්ද විහාරස්ථානය මගින් ක්‍රියාත්මක වන බැවින්, එම උතුම් කාර්යය සඳහා මෙම ගිලන් රථය නිදහස් කර දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විහාරාධිපති හිමියෝ කියා සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval