search-underway-for-those-who-placed-flower-bouquets-and-lit-lamps-near-the-statue-of-varuni-bogahawatte-at-the-mirihana-police-office

 මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තිබූ ඇගේ ඡායාරූපයක් ඉදිරිපිට මල් කළඹක් තබා පහනක් දල්වා ගිය අභිරහස් පුද්ගලයන් සොයා මිරිහාන පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.



මෙම සිදුවීම වාර්තා වන විට අදාළ නිලධාරිනිය රෝගාතුරව, සති දෙකක පමණ කාලයක සිට නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටීම විශේෂත්වයකි.


පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඇය සේවය කළ මිරිහාන පොලිස් ස්ථානයට අයත් ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල තුළ පිහිටි ඇගේ කාර්යාලයේ මෙලෙස මල් තබා පහන් දල්වා ගොස් ඇති බවයි.

නුගේගොඩ, මිරිහාන සහ පිටකෝට්ටේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් වැටලීම් රැසක් මෙහෙයවා ඇති වරුණි බෝගහවත්ත මහත්මියට, එම වැටලීම්වලට අදාළව විවිධ තර්ජන එල්ල වෙමින් පැවති පසුබිමක මෙම සිදුවීම වාර්තා වී තිබීම හේතුවෙන් පොලීසිය මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත.