the-owner-was-accused-of-stealing-the-30-million-he-had-deposited-in-the-bank

 පිටකොටුවේ පිහිටි ප්‍රවාහන ආයතනයක හිමිකරුගේ ඥාතියෙකු ඇතුළු අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් කොල්ලකෑමට ලක්වූ බවට අසත්‍ය තොරතුරු මවමින් සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පෙරේදා (24) දින අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය තහවුරු කළේය.



ප්‍රධාන සැකකරු වන මෙම ඥාතියා, අදාළ ප්‍රවාහන ආයතනයට අයත් මුදල් පිටකොටුවේ බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ. අනතුරුව ඔහු පවසා ඇත්තේ නාඳුනන පිරිසක් විසින් එම මුදල් කොල්ලකන ලද බවයි. කෙසේ වෙතත්, පොලිස් විමර්ශන මගින් මෙය සැලසුම් සහගත වංචාවක් බව හෙළිදරව් වී ඇත. අත්අඩංගුවට පත් වූවන් පෑලියගොඩ, කැලණිය, වැල්ලම්පිටිය, මාවනැල්ල සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 25 ත් 60 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් වේ.




මෙම වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුමක යෙදී සිටියදීය. එහිදී කැලණිය, නාරම්මිනිය මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු ත්‍රිරෝද රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී, එහි බික්කියේ ටී-ෂර්ටයක ඔතා සඟවා තිබූ රුපියල් ලක්ෂ 30ක මුදලක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.

ත්‍රිරෝද රථයේ සිටි සැකකරුට එම මුදල් පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා දීමට නොහැකි වීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එහිදී මෙම සමස්ත මූල්‍ය වංචාව පිළිබඳව සියලු තොරතුරු හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි. ප්‍රවාහන ආයතන හිමිකරුගේ ඥාතියා වන ප්‍රධාන සැකකරු, දීර්ඝ කාලයක සිට ආයතනයේ මුදල් බැංකු තැන්පත් කිරීමේ කටයුතුවල නිරත වී ඇති අතර, මෙම වංචාව ඔහුගේ සැලසුමකට අනුව සිදු කර ඇති බවට විමර්ශන මගින් තහවුරු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී, ඔවුන් විසින් වංචා කරන ලද මුදල් බෙදාගෙන තිබූ ආකාරය අනාවරණය වී තිබේ. ඒ අනුව, සැකකරුවන් සතුව තිබී රුපියල් දෙකෝටි හැටහත් ලක්ෂ හතළිස් පන්දහසක (2,67,45,000) මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.