තමා අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පවත්වන බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රකාශ කරයි. පොලිස්පතිවරයා ඊයේ (26) දිනයේදී මෙම චෝදනාව සිදුකර තිබූ අතර, මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (27) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
පසුගිය සිකුරාදා (24) දිනයේදී ජගත් විතාන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම ජීවිතයට තර්ජනයක් පවතින බවයි. පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයකම තමාට මරණීය තර්ජනයක් ඇති බව සඳහන් වන බැවින් ආරක්ෂාව සපයන ලෙස මන්ත්‍රීවරයා එහිදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි. මීට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි.
මෙම ඉල්ලීම්වලින් අනතුරුව, කතානායකවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පසුගිය 24 වැනිදා ලිපියක් යොමුකර ඇත. මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව දැනුවත් කරන ලෙසත් එම ලිපියෙන් දන්වා තිබිණි. ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු යොදවා තිබේ.
තමාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදුන් බව ජගත් විතාන මන්ත්‍රීවරයාද තහවුරු කළේය. කෙසේ වෙතත්, අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ පොලිස් ආරක්ෂාව තමා වෙත ලබාදී ඇත්තේ තාවකාලික පදනමක් මත බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval