ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 3 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි විසි හතර හැවිරිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක්, විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක ඉහළ මාලයකින් ඇද වැටීමෙන් අනතුරුව, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (03) අපවත් වී තිබේ.
මෙසේ අපවත් වී වදාළේ ගම්පහ, වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටි පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ සුමංගල හිමියන් ය.මෙම අනතුර පසුගිය 26 වැනි දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලෙන් ඇද වැටීමෙන් සිදුව ඇති බවට පොලිසිය තොරතුරු වාර්තා කරයි. අනතුරෙන් පසු සෙසු ශිෂ්‍ය භික්ෂූන් විසින් විශ්වවිද්‍යාලයෙන් පිටතින් ගෙන්වාගත් ත්‍රිරෝද රථයක් මගින් උන්වහන්සේව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත් කර නොමැති බවටද අනාවරණය වී ඇත.
සුෂුම්නාවට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ශල්‍යකර්මයකට ද භාජනය කරනු ලැබූ එම ශිෂ්‍ය හිමිනම, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත් වී ඇති බව සඳහන් වේ. සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
මේ අතර, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය, පූජ්‍ය හෝමාගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ, මෙම සිදුවීම පිළිබඳව විශ්වවිද්‍යාලය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ බවයි. ශිෂ්‍ය හිමියන් පඩිපෙළකින් ලිස්සා වැටුණු බවට මුලින් වාර්තා වුවද, පසුව ගොඩනැගිල්ලකින් ඇද වැටී ඇති බවට එම පරීක්ෂණයේදී තහවුරු වූ බව උන්වහන්සේ පැවසූහ. එම අභ්‍යන්තර විමර්ශන වාර්තාව අදාළ අංශ වෙත යොමු කර ඇති අතර, සිද්ධිය වූ ස්ථානය මහේස්ත්‍රාත්වරයෙකු විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බවද මහෝපාධ්‍යාය හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval