son-of-dr-ashoka-who-died-of-food-poisoning-while-returning-from-america-files-lawsuit-against-qatar-airways

 ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ශ්‍රී ලංකාව දක්වා පියාසර කරමින් තිබූ කටාර් ගුවන් යානයකදී, තමන් ඇනවුම් කළ නිර්මාංශ ආහාර වේල වෙනුවට මස් සහිත ආහාරයක් ලබා දීම නිසා 83 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු මියගිය බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් චෝදනා කරමින් කටාර් එයාර්වේස් ගුවන් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර ඇත. 


මෙම සිදුවීම සිදුව ඇත්තේ මීට වසර දෙකකට පෙර 2023 ය.
දකුණු කැලිෆෝනියාවේ පදිංචි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ අසෝක ජයවීර මහතා, තමන්ට ලැබුණු ආහාරයේ මස් ඉවත් කර අනුභව කිරීමට උත්සාහ කිරීමේදී ආහාර කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මෙම මරණය සිදුවී තිබේ.

මෙම සිදුවීම වන විට ගුවන් යානය ආක්ටික් කවය හරහා ගමන් කරමින් තිබූ බැවින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා යානය වෙනත් ගුවන්තොටුපළකට ගොඩබැස්වීමට නියමුවාට නොහැකි වූ බවට ගුවන් සේවය දැනුම් දුන් බව අසෝක ජයවීර මහතාගේ පුත් සූර්ය ජයවීර පවසයි. කෙසේ වෙතත්, තම පියාට මෙම අනතුර සිදුවන විට ගුවන් යානය පැවතියේ ඇමරිකාවේ මධ්‍යම බටහිර ප්‍රදේශයට ඉහළින් බවත්, එය පහසුවෙන්ම වෙනත් ගුවන්තොටුපළකට යොමු කිරීමට හැකියාව තිබූ බවත් ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

දැඩි නිර්මාංශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අසෝක ජයවීර මහතා 2023 ජූනි මස 23 වන දින ලොස් ඇන්ජලීස් සිට දෝහා හරහා කොළඹ බලා පැමිණීම සඳහා මෙම ගුවන් ටිකට්පත වෙන්කරවා ගෙන ඇත. පැය 15ක පමණ දීර්ඝ ගුවන් ගමන ආරම්භ වී පැය දෙකහමාරකට පමණ පසු ආහාර ලබා දීමේදී, තමන් ඉල්ලා සිටි නිර්මාංශ ආහාර වේල ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබේ. 

එහිදී ගුවන් සේවිකාවන් දැනුම් දී ඇත්තේ නිර්මාංශ ආහාර අවසන් වී ඇති බවත්, මස් සහිත සාමාන්‍ය ආහාර වේලක් පමණක් ලබා දිය හැකි බවත්ය.


එමෙන්ම, "මස් ඉවත් කර ඉතිරිය අනුභව කරන ලෙස" ඇය උපදෙස් දී ඇත.

මෙලෙස ආහාර ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ උගුරේ ආහාර සිරවීමත් සමග ඔහුගේ සිරුරේ ඔක්සිජන් සන්තෘප්තිය 69% දක්වා භයානක ලෙස පහත වැටී ඇත. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඔක්සිජන් ලබා දීමට උත්සාහ කළද, ඔහුගේ තත්ත්වය යහපත් වී නොමැත. සිද්ධියෙන් පැය තුනහමාරකට පමණ පසුව ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නුවරට යානය හදිසියේ ගොඩබස්වන විටත් අසෝක ජයවීර මහතා සිහිසුන්ව පසුවූ බවත්, රෝහල් ගත කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

2023 අගෝස්තු 3 වන දින ඔහු මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ආහාර හෝ දියර වර්ගයක් ශ්වාසනාලය හරහා පෙනහළු වලට ඇතුල් වීම නිසා ඇතිවන ආසාදනයක් වන "ආශ්වාස නියුමෝනියාව" (aspiration pneumonia) තත්ත්වයයි. මෙම අයුතු මරණය සහ ගුවන් සේවයේ නොසැලකිල්ල හේතුවෙන්, ගුවන් මගී වන්දි සම්බන්ධ ජාත්‍යන්තර මොන්ට්‍රියල් සම්මුතියෙන් නියම කර ඇති ඩොලර් 175,000ක පමණ මුදල ඉක්මවූ වන්දියක් ඉල්ලා සූර්ය ජයවීර මහතා විසින් මෙම නඩුව ගොනු කර ඇත. කටාර් ගුවන් සේවය මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.


gossiplanka image 2


gossiplanka image 3