sinopec-oil-refinery-limited-to-contract-papers

 ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජනය ලෙස සැලකෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වටිනා සයිනොපෙක් තෙල් පිරිපහදුව පිහිටුවීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් කර මාස නවයකට ආසන්න වුවද, එහි කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇති බවට ආරංචි මාර්ග ඔක්තෝබර් 10 වන දා අනාවරණය කළේය.



චීනයේ මෙහෙයුම් දායකත්වය සහිත හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ ප්‍රමාදයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ



බදු නිදහස් කිරීම් සහ පිරිපහදුවේ නිෂ්පාදිත ඉන්ධන දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර දෙන ප්‍රතිශතය පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති නොවීම බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම වසරේ මුල් භාගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුරදී මෙම තෙල් පිරිපහදුව සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණු අතර, මුලිකව ශ්‍රී ලංකා රජය එකඟ වී තිබුණේ නිෂ්පාදිත ඉන්ධනවලින් සියයට 20ක ප්‍රමාණයක් දේශීයව අලෙවි කර ඉතිරිය අපනයනය කිරීමටයි.




කෙසේ නමුත්, සයිනොපෙක් සමාගම පසුව එම ප්‍රතිශතය සියයට 40ක් දක්වා ඉහළ නංවන ලෙස නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එම ඉල්ලීම සහ බදු නිදහස් කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වී තිබේ.

තම සමාගම ශ්‍රී ලංකා රජයේ තීරණය අපේක්ෂාවෙන් පසුවන බව සයිනොපෙක් නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති පසුබිමක, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ මෙම වසරේදීම පිරිපහදුවේ ඉදිකිරීම් ඇරඹීමට රජය බලාපොරොත්තු වන බවයි.

දෛනිකව බොරතෙල් බැරල් ලක්ෂ දෙකක ධාරිතාවකින් යුත් මෙම තෙල් පිරිපහදුව සඳහා 2023 වසරේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවද බලශක්ති අමාත්‍යවරයා එහිදී සිහිපත් කර තිබිණි.