oncologists-write-to-the-university-of-colombo-about-fake-cancer-drugs

 කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවන ලදැයි කියන පිළිකා නාශකයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCO) බරපතල කනස්සල්ල පළ කර තිබේ. එම සංගමය අනතුරු අඟවන්නේ අදාළ නිෂ්පාදනය සඳහා පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත්, එය අවදානමට ලක්විය හැකි රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළිය හැකි බවත්ය.



ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය සනත් වානිගසූරිය මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ "මෙම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වසනීය සාක්ෂිවල පවතින පැහැදිලි හිඟකම" පිළිබඳව සිය විද්‍යායතනය දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවයි.


දේශීයව සිදුකරන පිළිකා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිගන්නා අතරම, රෝගීන් සඳහා භාවිත කිරීමට අදහස් කරන ඕනෑම ඖෂධයක් දැඩි විද්‍යාත්මක සහ නියාමන ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව වෛද්‍ය වානිගසූරිය මහතා අවධාරණය කරයි. මෙම ඊනියා ඖෂධය පිටුපස සිටින කණ්ඩායම එම අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම නිෂ්පාදනය "පෝෂණ ඖෂධයක්" (nutraceutical) ලෙස අලෙවි කරනු ලැබුවද, එහි ප්‍රවර්ධන අන්තර්ගතය සහ ස්වරය "පිළිකා රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල චිත්තවේගීය දුර්වලතා ගසාකන අතිශයින් නොමඟ යවන සුළු" ඒවා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව, මෙම නිෂ්පාදනය වටා හදිසියේ ඇති වූ ප්‍රසිද්ධිය, පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ අනෙකුත් ගෞරවනීය සංවිධාන විසින් ජනිත කරන ලද ඉහළ පිළිකා දැනුවත්භාවයෙන් ප්‍රයෝජන ගැනීමට දරන උත්සාහයක් ලෙස පෙනී යන බවටද විද්‍යායතනය සිය කනස්සල්ල පළ කර ඇත.



මෙවැනි ප්‍රකාශයන්ගෙන් සිදුවිය හැකි හානිය ඉස්මතු කරන වෛද්‍ය වානිගසූරිය මහතා පවසන්නේ, තහවුරු නොකළ පිළිකා නිෂ්පාදන හේතුවෙන් රෝගීන් ජීවිතාරක්ෂක ප්‍රතිකාර ප්‍රමාද කිරීම, මූල්‍යමය වශයෙන් පීඩාවට පත්වීම සහ විද්‍යාත්මකව ඔප්පු කරන ලද ප්‍රතිකාර කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම වැනි සිදුවීම් පිළිකා රෝග විශේෂඥයින් සියැසින් දැක ඇති බවයි.

"රෝගීන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සක්‍රීයව සියලු මාර්ග අනුගමනය කරන අතර, ඔබගේ ආයතනයේ ප්‍රධානියා ලෙස මෙම කාරණය සම්බන්ධයෙන් වහාම සහ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

මෙම චෝදනා සනාථ වුවහොත්, සිය ස්ථාවරය ප්‍රසිද්ධියේ පැහැදිලි කරන ලෙසත්, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම නිෂ්පාදනයෙන් තම ආයතනය ඈත් කරන ලෙසත් විද්‍යායතනය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටී.
අනාගතයේදී මෙවැනි සිදුවීම් වැලැක්වීම සහ පර්යේෂණවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙසද එම ලිපිය මගින් විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා ඇත.

තහවුරු නොකළ පිළිකා ප්‍රතිකාර ප්‍රවර්ධනය කිරීම රෝගීන්ට පමණක් නොව සමස්ත සමාජයටම ගැඹුරු අවදානමක් ඇති කරන බැවින්, මෙම ගැටලුවේ හදිසිභාවය ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අවධාරණය කරයි.

කෙසේ වෙතත් මෙම ඖෂධය සම්බන්ධ පර්යේෂණය හෝ ප්‍රචාරණය තම සරසවියේ අනුදැනුමකින් තොරව සිදු කළ එකක් බවට කොළඹ සරසවියේ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ ඊයේ නිවේදනයක්ද නිකුත්ව තිබුණි.