රුසියානු ආරක්ෂක අංශ භාරයේ පසුවන, පාතාල අපරාධකරුවෙකු ලෙස සැලකෙන රොටුඹ අමිල, ඔහුට එරෙහිව එරට අධිකරණයක විභාග වන නඩුව අවසන් වූ විගස ශ්‍රී ලංකාවට භාර දෙනු ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනයකට අනුව, රුසියාවට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඇතුළු වී සිටියදී පසුගිය 2025 මාර්තු මාසයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය විසින් එම මාසයේදීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දීමක්ද සිදු කර ඇත.
සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිලට එරෙහිව රුසියානු අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන්නේ මෙම ආගමන විගමන නීති කඩකිරීම සම්බන්ධයෙනි. එම නඩුව ලබන නොවැම්බර් මස 01 වන දින නැවත කැඳවීමට නියමිතව ඇති අතර, එම නඩු කටයුත්ත මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී තිබේ.
කෙසේ වෙතත්, රොටුඹ අමිල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් මේ වන විටත් අවසන් කර ඇති බව අදාළ උසස් පොලිස් නිලධාරියා තවදුරටත් සඳහන් කළේය. මීට පෙර මෙරටදී අපරාධ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි ඔහු, පසුව ඇප ලබා කෙසේ හෝ රටින් පැන යාමට සමත් වී තිබිණි.
මාතර, රොටුඹ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී නාලක පුෂ්ප කුමාර නමැති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ සහායකයෙකු වූ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන දෙදෙනාට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මෙම ඝාතන තැත ඩුබායි සිට මෙහෙයවා ඇති බවට දුරකථන විශ්ලේෂණ වාර්තා සහ බුද්ධි තොරතුරු මගින් අනාවරණය වීමෙන් පසු 2019 වසරේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි. එම වසරේදීම මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයකදී අත්අඩංගුවට පත්වීමෙන් පසු එරටින් පිටුවහල් කළ අවස්ථාවේදී, කටුනායක ගුවන් තොටුපළේ රහස් පොලිස් ඒකකය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මීට පෙර කංජිපානි ඉම්රාන් ද ඩුබායිහිදී හසුවී, පසුව ඇප මත නිදහස් වී නැවතත් සිය ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින බවද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval