polands-enter-air-begins-flights-to-sri-lanka

 පෝලන්තයේ Enter Air ගුවන් සේවය සිය ශීත ඍතු ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කරමින් අද දිනයේදී වෝර්සෝ නුවර සිට කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙමගින් මෙම ශීත ඍතු කාලය තුළ පෝලන්තයේ මෙන්ම යුරෝපීය සංචාරකයන් ද වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම ගුවන් සේවය ලබන අප්‍රේල් මාසය දක්වා බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇත.






Enter Air ගුවන් සේවය පසුගිය 2023 වසරේදී මෙන්ම 2024 වසරේදී ද ශීත ඍතුව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. 2023 වසරේදී පෝලන්තයෙන් සංචාරකයන් 17,946 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, 2024 වසරේදී එම සංඛ්‍යාව 44,165 ක් ලෙසින් ඉහළ ගොස් තිබේ. ඊට අමතරව 2025 වසරේ මේ දක්වා කාලය තුළ පෝලන්තයේ සිට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 35,606 ක් ලෙසින් වාර්තා වේ.

වාර්තා වලට අනුව Enter Air ගුවන් සේවය ද සමඟින් මෙම සතිය තුළ දී ගුවන් සේවා පහක් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ක්වේට ගුවන් සේවය සහ ස්විස්ටර්ලන්තයේ ඊල්වයිස් ගුවන් සේවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් ආරම්භ කළ අතර, බෙලරුස්හි බෙලාවියා ගුවන් සේවය සහ රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

gossiplanka image 2
gossiplanka image 3



gossiplanka image 4
gossiplanka image 5