නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරුන් මගින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනුකරමින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිබේ.
පොලිස්පතිවරයා සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කිහිප දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බව කියන සිදුවීමක් මුල් කරගනිමින් පොලිසිය තමන්ව අනීතික අයුරින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව වන්නිනායක මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
මෙම සිදුවීමට මුල් වී ඇත්තේ මීට දින කිහිපයකට ඉහතදී ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි බන්ධනාගාර බස් රථයකට ගමන් කිරීම සඳහා ඉඩ ලබා දීමේ සිදුවීමකි. එහි නවතා තිබූ නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් ඉවත් කර ගැනීමට යාමේදී රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු සහ අදාළ නීතීඥවරයා අතර මතභේදයක් හටගෙන ඇත. එම අවස්ථාවේදී අදාළ පොලිස් කොස්තාපල්වරයා තමාට පහර දුන් බව පවසමින් එම නීතීඥවරයා, ජ්‍යෙෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට ඒ බව දැනුම් දී තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, එම දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණි ජ්‍යෙෂ්ඨ නීතීඥ වන්නිනායක මහතා, අදාළ පොලිස් කොස්තාපල්වරයාට අශෝභන ලෙස බැණ වැදී සාපරාධී බලහත්කාරය පා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. රජයේ සේවකයෙකුට සිය රාජකාරියට සහ යුතුකම ඉටු කිරීමට බාධා එල්ල කිරීම යන චෝදනා යටතේ, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ද සමග පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නිවාස තුනක් වෙත ගිය ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බවත්,
ඔහු මේ වන විට පොලිසිය සහ අධිකරණය මගහරිමින් සිටින බවට පෙනී යන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අඛණ්ඩව කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval