cyclist-involved-in-several-murders-arrested

 මනුෂ්‍ය ඝාතනයක් සහ පුද්ගලයන් කිහිප දෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ ගණනාවක යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. සැකකරු සතුව තිබී 'අයිස්' නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,200 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. 






පසුගිය සැප්තැම්බර් 29 වන දින තලවතුගොඩ, වැලි පාරේ සිව්වන පටුමග හන්දිය අසලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී, මොහු කලකට පෙර අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි වැදී මියගිය 'ගනේමුල්ලේ සංජීව' ගේ පාර්ශ්වයට අයත් අයෙකු බවට අනාවරණය වී ඇත. එමෙන්ම, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින 'නේවි වසා' හෙවත් දිනේෂ් වසන්ත සහ 'තම්මිට සුමිත්' යන පාතාල නායකයන්ගේ ගෝලයෙකු බවට ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.




සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු අපරාධ රැසක යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවට පොලිස් විමර්ශන මගින් තහවුරු වී තිබේ. 2024 දෙසැම්බර් 08 වන දින ගම්පහ පොලිස් වසමේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයක, 2024 දෙසැම්බර් 13 දින මෝදර ප්‍රදේශයේ සිදුකළ ඝාතන තැතක සහ 2025 මාර්තු 08 වන දින ගම්පහ ප්‍රදේශයේ සිදුකළ තවත් මනුෂ්‍ය ඝාතනයක සහ ඝාතන තැතක යතුරුපැදිකරු ලෙස මොහු ක්‍රියා කර ඇත. ඊට අමතරව, 2025 මාර්තු 13 වන දින වැලිවේරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සහ 2025 අප්‍රේල් 15 වන දින ගම්පහ ප්‍රදේශයේ සිදුකළ තවත් ඝාතන තැතකට ද මොහු යතුරුපැදිකරු ලෙස සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 36 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු ඉඹුල්ගොඩ, පරකන්දෙණිය සහ තලවතුගොඩ වැලි පාර යන ප්‍රදේශවල පදිංචිව සිටිමින් රියදුරෙකු ලෙස සේවය කළ අයෙකි. තලංගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.