
රාජකාරී වේලාවේදී ජංගම දුරකතනයෙන් යූටියුබ් වීඩියෝ නරඹමින් සෙසු නිලධාරීන්ට බාධා කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු, ඒ සම්බන්ධයෙන් අවවාද කළ ස්ථානාධිපතිවරයාට උස් හඬින් බැණ වැදී සේවය හැර යාමේ සිදුවීමක් ගොතටුව පොලිස් ස්ථානයෙන් වාර්තා වේ. මෙම විෂමාචාරී හැසිරීම හේතුවෙන් අදාළ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාරියාලය පියවර ගෙන තිබේ.
අදාළ ආධුනික කොස්තාපල්වරයා ඉකුත් 19 වන දින පෙරවරු 6.00 සිට සවස 6.00 දක්වා ගොතටුව පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරු ලෙස රාජකාරියට යොදවා ඇත. එම අවස්ථාවේදී ඔහු, යාබදව පිහිටි පාලන අංශයේ රාජකාරීවලටද හිරිහැර වන අයුරින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ නරඹමින් සිට තිබේ. මේ පිළිබඳව පාලන අංශයේ සේවයේ නිරතව සිටි කාන්තා පොලිස් සැරයන්වරියක් විසින් ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇත.
පසුව ස්ථානාධිපතිවරයා විසින් මෙම කොස්තාපල්වරයා සිය නිල කාමරයට කැඳවා උපදෙස් ලබා දීමට උත්සාහ කිරීමේදී, ඔහු එක්වරම ආවේගශීලීව හැසිරී තිබේ. "රස්සාව මට අවශ්‍ය නෑ" යනුවෙන් පවසමින්, ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී, උස් හඬින් කතා කරමින් ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. කොස්තාපල්වරයා සේවය හැර යාමෙන් අනතුරුව, එම රාජකාරිය සඳහා වෙනත් නිලධාරියෙකු යෙදවීමට සිදු විය.
පොලිස් ස්ථානයෙන් පිටව ගිය නිලධාරියා සම්බන්ධයෙන් ස්ථානයේ දිවා කාර්යභාර නිලධාරියා ලවා සිදු කළ සොයා බැලීමකදී, ඔහු කිසිදු සටහනක් නොතබා අනවසරයෙන්ම පිටව ගොස් ඇති බවට අනාවරණය වී ඇත. මෙම නිලධාරියා ඉතා ආවේගශීලී අසාමාන්‍ය හැසිරීම් රටාවකින් යුක්ත වූ බවත්, පොලිස්පතිවරයාගේ ස්ථාන මාරු නියෝගයක් මත තඹුත්තේගම කොට්ඨාසයේ ගල්කිරියාගම පොලිසියේ සිට මීට දින තුනකට පෙර ගොතටුව පොලිස් ස්ථානයට සේවයට වාර්තා කළ අයෙකු බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය. මෙම විෂමාචාරී ක්‍රියාව හේතුවෙන්, නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී III විසින් පසුගිය 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval