පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව වෙත නුදුරේදීම කැඳවීමට නියමිත බව වාර්තා වේ.
මෙම පියවර ගෙන ඇත්තේ සමගි ජන බලවේගය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය විසින් මතුකරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් විභාගයට ගැනීම සඳහාය. කෝප් කමිටුවේ විමර්ශනයක් අතරතුරදී තමන්ට අගතියක් මෙන්ම අපහාසයක් සිදුවූ බවට ඇය විසින් චෝදනා කර තිබිණි.
සිය වරප්‍රසාද ප්‍රශ්නය මගින් චමින්ද්‍රාණී කිරිඇල්ල මන්ත්‍රීවරිය පෙන්වා දී ඇත්තේ, මහනුවර පිහිටි හන්තාන වතුයායෙන් අක්කර හතළිස් තුනක ඉඩමක් ඇය විසින් නීති විරෝධී අයුරින් පවරාගෙන ඇති බවට සාවද්‍ය තොරතුරක් කෝප් කමිටුව තුළ සාකච්ඡා වී ඇති බවයි. එම අසත්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් තමාට අපහාසයක් සිදුවූ බවද ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, මන්ත්‍රීවරිය විසින් 2025 ජූලි මස 22 වන දින ඉදිරිපත් කළ මෙම වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් මතු කළ කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාව වෙත යොමු කිරීමට යෝජනා කළ හැකි බව ප්‍රකාශ කරන ලදී. මෙවැනි ක්‍රියාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද මන්ත්‍රීවරිය සිය වරප්‍රසාද ප්‍රශ්නය මතුකරමින් අවධාරණය කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval