lawyer-constable-clash-over-parking-issue-at-mount-lavinia-court

 ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී නීතීඥවරයෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.





අදාළ නීතීඥවරයා ඊයේ (10) දිනයේ අධිකරණයේ පෙනී සිටි නඩු කටයුත්තක් අවසන් කර සිය මෝටර් රථයෙන් අධිකරණ භූමියෙන් පිටවීමට සූදානම් වී ඇත. එම අවස්ථාවේදී අධිකරණ භූමියට පැමිණි බන්ධනාගාර බස් රථයකට ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙස එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා නීතීඥවරයාට දැනුම් දී තිබේ.

එම දැනුම් දීමත් සමග දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් උණුසුම් වචන හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.

පසුව එම බහින්බස්වීම පහරදීමක් බවට පත්ව ඇති අතර සිද්ධියෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර තිබිණි.