හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නේපාලයේ සහ ඉන්දියාවේ හටගත් නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් නිසා පුද්ගලයින් 60 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව බලධාරීහු තහවුරු කරති. මෙම ස්වභාවික විපතින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නේපාලයට වන අතර,
ඉරිදා දිනය වන විට එහි මරණ 43ක් වාර්තා වී ඇති අතර තවත් පස් දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කරයි. ඊට අමතරව, අසල්වැසි ඉන්දියාවේ, ඊසානදිග බටහිර බෙංගාල ප්‍රාන්තයට අයත් සුප්‍රසිද්ධ තේ වගාවන් සඳහා ප්‍රසිද්ධ ඩාර්ජීලින් දිස්ත්‍රික්කයේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රීංග්ලා මහතා ප්‍රකාශ කළේය.නේපාලයේ නැගෙනහිරට වන්නට පිහිටි ඉල්ලම් දිස්ත්‍රික්කය මෙම ආපදා තත්ත්වයෙන් දරුණුතම හානියට ලක්ව ඇති ප්‍රදේශය වන අතර, එම දිස්ත්‍රික්කයෙන් පමණක් මරණ 37ක් වාර්තා වී තිබේ. එක රැයකින් ඇද හැලුණු අධික වර්ෂාපතනය මැද ගම් පිටින් වැළලි ගොස් ඇතැයිද මෙම විනාශකාරී නායයෑම් නිසා මාර්ග රැසක් අවහිර වීම නිසා සහන සේවා කණ්ඩායම්වලට එම ප්‍රදේශවලට ළඟා වීමට දැඩි බාධා එල්ල වී ඇත.
මේ අතර, නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවර හරහා ගලා බසින ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගං ඉවුරු ආශ්‍රිත ජනාවාස රැසක් ජලයෙන් යටවී තිබේ. හෙලිකොප්ටර් යානා සහ මෝටර් බෝට්ටු යොදා ගනිමින් ආරක්ෂක අංශ විසින් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරනු දක්නට ලැබිණ. අධිවේගී මාර්ග කිහිපයක්ම නායයෑම් හේතුවෙන් අවහිර වී ඇති අතර, ගුවන් ගමන් වාරද සීමා කිරීමට බලධාරීන්ට සිදුවී ඇත.
මෙම තත්ත්වය හමුවේ, නේපාලයේ අන්තර්වාර රජයේ ප්‍රධානී සුශීලා කර්කි මැතිණිය ජනතාව අමතමින් කියා සිටියේ, රජය ඕනෑම ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුමක් සඳහා පූර්ණ සූදානමකින් පසුවන බවයි. "ඔබගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම වගකීමයි. අවශ්‍ය ඕනෑම සහයෝගයක් ඉල්ලා සිටීමට පසුබට නොවන්න," යනුවෙන් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. තවද, රජය විසින් ඉරිදා සහ සඳුදා යන දින දෙක රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
ඉන්දියාවේ, නේපාලයට මායිම්ව පිහිටි ඩාර්ජීලින් දිස්ත්‍රික්කයට මෙම ආපදාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙම ජීවිත හානි පිළිබඳව තමා දැඩි කම්පනයට පත් වූ බවත්, තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය. දකුණු ආසියානු කලාපයේ, ජූනි මස සිට සැප්තැම්බර් අග දක්වා පවතින මෝසම් කාලය තුළ මෙවැනි හදිසි ගංවතුර සහ නායයෑම් සුලබ වුවද, දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් මෙවැනි ආන්තික කාලගුණික සිදුවීම් ලොව පුරා නිරන්තරයෙන් හා වඩාත් දරුණු ලෙස සිදුවන බව විශේෂඥයෝ පෙන්වා දෙති.
Comments
Post a Comment
Your comment will be visible after approval