kandy-fake-traders-who-violated-the-consumer-act-have-paid-a-fine-of-85-million-rupees

 පාරිභෝගික පනත උල්ලංඝනය කළ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින්ට එරෙහිව පසුගිය මාස නවය තුළ ගොනුකළ නඩු මගින් රුපියල් 8,587,000ක දඩ මුදලක් අය කර ගැනීමට හැකිවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.





එම අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී තුෂාර රෑනපාන මහතා සඳහන් කළේ, මෙම කාලය තුළ ව්‍යාපාරිකයන් 989 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි. පාලන මිලට වඩා ඉහළ මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ නිෂ්පාදන අලෙවි කිරීම සහ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම වැනි වැරදි සඳහා මෙම දඩ මුදල් නියම කර තිබේ.

මහනුවර, ගම්පොළ, නාවලපිටිය, වත්තේගම, කඩුගන්නාව, තෙල්දෙණිය, දිගන සහ පේරාදෙණිය ඇතුළු දිස්ත්‍රික්කය පුරා මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කළුතොටාරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ, පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන ව්‍යාපාරික ස්ථාන වැටලීම අඛණ්ඩව සිදුකරන බවද දිස්ත්‍රික් කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.