හිටපු විවාහක රූරැජිණියක හා රංගන හිල්පිණියක වන ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඇයව මෙසේ කැඳවා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව ඇය ඊයේ (27) එම ස්ථානයට පැමිණියාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන් ද ප්‍රශ්න කර තිබූ අතර, තවත් රංගන ශිල්පිනියන් තිදෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය පසුගිය මහ මැතිවරණයේදී සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට ද තරග කළාය.
ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සඳහන් කළේ, 2022 වසරේ පැවති අවුරුදු උත්සවයකදී තමන් සමඟ ලබාගත් ඡායාරූපයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු වූ බවයි. අදාළ අවුරුදු උත්සවයට තවත් බොහෝ නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ බවත්, තමන් සිය පවුලේ සාමාජිකයන් සමඟ එම උත්සවයට එක් වූයේ සිය පෞද්ගලික වියදමින් බවත් ඇය අවධාරණය කළාය. එම උත්සවයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි සිටි බවත්, ඡායාරූපයේ සිටින පුද්ගලයා කවුදැයි තමන් ඒ මොහොතේ දැන නොසිටි බවත් ඇය පැවසුවාය.
තමන් මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ බවට රට තුළ පැතිර යන කතාබහට පැහැදිලි කිරීමක් සිදු කිරීමට මෙය අවස්ථාවක් කරගත් බවද ඇය කීවාය. මෙම චෝදනා හේතුවෙන් සිය ව්‍යාපාරවලට විශාල පහරක් එල්ල වී ඇති බවත්, එම ව්‍යාපාර නීති විරෝධී මුදල් හරහා ආරම්භ කළ බවට ඇතැමුන් චෝදනා කරන බවත් ඇය සඳහන් කළාය. තමන් 2017 වසරේ සිට ව්‍යාපාර කටයුතුවල නිරත වන බවත්, එදා සිට අද දක්වා සිදුකළ සියලු ගනුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු පැහැදිලි කළ බවත් ෆොන්සේකා මහත්මිය පැවසුවාය. තමන්ට විදෙස් රටවලින් මුදල් ලැබීම සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කළ බව ඇය වැඩිදුරටත් කීවාය.
නිතර ඩුබායි රාජ්‍යයට යන්නේ නීති විරෝධී පුද්ගලයන් හමුවීමට බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ ඇය, තමන් 2001 වසරේ සිට ඩුබායි වෙත ගමන් කරන බවත්, එහි අධ්‍යාපනය ලැබූ, නේවාසික වීසා පවා තිබූ තැනැත්තියක් බවත් කියා සිටියාය. ඩුබායි යනු සිය දෙවැනි නිවස බඳු බවත්, තමන්ට එහි ව්‍යාපාරයක් ද පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.
තමන් නීතියට බියෙන්, නීත්‍යානුකූලව ජීවත් වන අයෙකු බවත්, රටේ සිදුවන නීති විරෝධී දේ නැවැත්වීමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය. කතෝලිකයෙකු වුවද තමන් කර්මය සහ බුදු දහම දැඩිව විශ්වාස කරන බවත්, වැරදි දේ කර මුදල් කොපමණ ඉපැයුවද නිදහසේ නිදාගත නොහැකි බවත් ඇය සඳහන් කළාය. එබැවින් නීති විරෝධී හෝ අසාධාරණ ලෙස මුදල් ඉපැයීමෙන් වළකින ලෙස ඇය තරුණ දරුවන්ගෙන් ඉල්ලා සිටියාය.
උත්සව අවස්ථාවලදී බොහෝ දෙනා පැමිණ තමන් සමඟ ඡායාරූප ගන්නා බවත්, අදාළ පුද්ගලයා ද ඒ අතර සිටි අයෙකු බවත්, එසේ ඡායාරූප ගැනීම තමන්ට වැළැක්විය නොහැකි බවත් ඇය කීවාය. කලා ශිල්පීන් හා ශිල්පිනියන් උත්සව සඳහා සහභාගී වීමේදී, එම උත්සවවල අනුග්‍රාහකයන් කවුදැයි නොදැන ආරාධනා කළ පමණින් සහභාගී වන බැවින්, ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ද ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සිය සගයන්ගෙන් ඉල්ලා සිටියාය.
ඇගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්
ඇත්තටම 2022 පැවැත්වුණ අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් තමයි, එතනදී අපිත් එක්ක ගත්ත ෆොටෝ එකක් සම්බන්ධයෙන් තමයි අද විමර්ශනය සිද්ධ වුණේ.
ඉතින් මෙතනදී ලොකු කතාබහක් තිබුණා ලංකාවේ අපි මුදල් විශුද්ධිකරණය කළා කියලා. ඉතින් ඒක පැහැදිලි කරන්න. මොකද අපි ඉතා නීත්‍යනුකූලව නීතියට බයේ ජීවත්වන අය. ඉතින් අපි කවදාවත් කැමැති නැහැ මේ වගේ දේවල් රටේ සිද්ධ වෙනවාට. සම්පූර්ණ සහයෝගය මගේ ලබාදෙනවා. රටේ තිබෙන ප්‍රශ්න නැති කරන්න ඒ වගේම මේ නීති විරෝධී දේවල්වලට ඒ නිසා තමයි මම ඇවිල්ලා මගේ ව්‍යාපාරයට ලොකු පහරක් වෙලා තිබෙනවා මේක අපි මනිලොන්ඩරි හරහා තමයි පටන් අරන් තියෙන්නේ කියලා. නැහැ එහෙම නැහැ. මම පටන් ගත්තේ 2017, මගේ හැම ව්‍යාපාර කටයුත්තක්ම. ඉතින් එදා ඉඳන් මේ වෙනකන් අපි කරපු දේවල් මොන විදියටද ගනුදෙනු කරලා තිබෙන්නේ. ඒ දෙවල් තමයි අද දවසෙම අපි මේ විදියට පෙන්නුම් කළේ.
පාතාල නායකයත් එක්ක මගේ පිංතූරයක් තිබෙනවා කියලා තමයි මට එන්න කිව්වේ. නමුත් පිංතූරයේ තියෙන්නේ අවුරුදු උත්සවයකට ගිය පිංතූරයක්. ඒ අවුරුදු උත්සවයට ගොඩාක් කට්ටිය සම්බන්ධ වුණා. ගොඩාක් නළු නිළියෝ සම්බන්ධ වුණා. මේ දවස්වල කතාබහ වෙන ඒ හැමෝමත් සම්බන්ධ වුණා. මම මේ අවුරුදු උත්සවයට ගියේ මගේ වියදමින්. මගේ පවුලත් එක්ක. ඉතින් ඒක නිසා මම හැමදෙයක්ම ඒ ගොල්ලන්ට ඔප්පු කළා. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද ලොකු කතා බහක් යනවා මේ වෙනකොට ඉතින් අපි ගොඩක් අමාරුවෙන් හදාගත්තු නම නැති කරන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඉතින් එහෙම කරන්න බැහැ. මොකද හේතුව අපි ගොඩක් සාධාරණව, ඒ වගේම ඉතාමත් නීත්‍යනුකූලව නීති ගරුකව ජීවත්වන අය. ඉතින් ඒක නිසා කවදාවත් වැරැද්දක් වෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. මම ඒ පුද්ගලයා දැනගෙන හිටියෙ නැහැ. ඒ අවුරුදු උත්සවයට ලක්ෂ ගාණක් ඇවිල්ලා හිටියා. මම පළමු වතාවට තමයි අවුරුදු උත්සවයකට සම්බන්ධ වුණේ. මම ඩුබායි රටේ ඉගෙන ගත්තු කෙනෙක්. ඩුබායි රටේ වීසා තිබුණු කෙනෙක්. රෙසිඩන්ට් වීසා තිබුණු කෙනෙක්. ඒක නිසා එහෙම හිටපු කෙනෙක් ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව ගොඩක් අය කියලා තිබුණා මම හැම තිස්සේම ඩුබායි යන්නේ මේගොල්ලන්ව හම්බුවෙන්න කියලා, නැහැ. මම 2001 ඉඳලා ඩුබායි යනවා. මොකද හේතුව ඩුබායි රට මගේ දෙවෙනි ගෙදර වගේ. මොකද හේතුව එහේ මගේ ව්‍යාපාරයක් තියෙනවා. ඒ වගේම මම එහේ ඉගෙන ගත්තු නිසා මම ඩුබායි යනවා. මම හිතන්නේ මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් මම පැහැදිලි කර දුන්නා. ගොඩක් සතුටුයි මේ හරහා මගේ නම කැත වෙච්ච එක නැතිවෙයි කියලා මම විශ්වාස කරනවා.
සී.අයි.ඩී. එකෙන් ව්‍යාපාර ගැනත් ප්‍රශ්න කරා කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මොකද හේතුව මට ගොඩක් පිටරටවලින් සල්ලි එනවා.
මට කියන්න තියෙන්නේ අපේ රටේ දුවා දරුවෝ බලන් ඉන්නවානම් කවදාවත් නීත්‍යනුකූල නොවන දේවල් හරහා සල්ලි හම්බ කරන්න එපා. මොකද මම ඒක විශ්වාස කරන දෙයක් මම කතෝලික කෙනෙක් වුණාට මම බුදු දහම ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්. කර්මය කියන දේ ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒක නිසා කවදාවත් වැරැදි දෙයක් කරන්න එපා. වැරැදි දෙයක් කරලා අපට කවදාවත් නිදහසේ නිදා ගන්න බැහැ. අපි කොච්චර සල්ලි හම්බකළත් වැඩක් නැහැ අපිට නිදහසේ නිදා ගන්න බැරිනම්. ඒක නිසා අසාධාරණව නීති විරෝධීව සල්ලි හොයන්න එපා කියලා මම අපේ කුඩා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
මට ෆොටෝ එක පෙන්නුවේ නැහැ. තනි තනියෙන් නෙමෙයි ගොඩක් අය හිටියා. අවුරුදු උත්සවයක් වුණාම ලංකාවේ වුණත් ගොඩක් අය සහභාගි වෙනවා. එතන ගොඩක් අය ඇවිල්ලා අපිත් එක්ක පින්තූර ගත්තා. ඉතින් ඒ අතරේ තමයි ඉඳලා තියෙන්නේ. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. අපි කාටත් බැහැයි කියන්නේ නැහැ. ඒ වෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ කවුද මේ පුද්ගලයා කියන එක. අවුරුදු උත්සවවලට යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා මම මගේ කලා ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නේ නැහැනේ මේ දවල් කවුද ස්පොන්සර් කරන්නේ කියලා. අපිට ආරාධනා කළාම අපි යනවා.
ශ්‍රීමාලිගේ ඡායාරූප එකතුවක් මෙතැනින් Click Here


Comments
Post a Comment
Your comment will be visible after approval