veteran-writer-soma-jayakody-passes-away

 සාහිත්‍ය ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ සම්මානනීය, ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 78 වන වියේ පසුවූ ඇය, කලක් තිස්සේ පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) දින පෙරවරුවේ දිවි සැරිය නිමා කළ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කළේය.



සිය ජීවිත කාලය තුළ නවකතා, ළමා අධ්‍යාපන ග්‍රන්ථ, යොවුන් කතා, ඓතිහාසික කෘති, බෞද්ධ කතා සහ චරිත කතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් කෘති 358 ක් රචනා කිරීමට සෝමා ජයකොඩි මහත්මිය සමත් වූවාය. ඊට අමතරව ගුවන් විදුලි නාට්‍ය 85 ක් පමණ රචනා කරමින් නිෂ්පාදන කටයුතුවලට ද ඇය දායකත්වය ලබා දී ඇත.

පාඨකයන් අතර අතිශය ජනප්‍රිය වූ "කඳුළු බද්ද", "අප්පච්චී", "කැන්ගරුවෝ", "බලවත්තු සහ බවලත්තු", "ළා දලු බෝපත්" සහ "සිදුහත් යශෝදරා" වැනි කෘති රැසක් ඇයගේ නිර්මාණ අතර වේ. "මදාරා" සහ "රන්ගිර" වැනි ඇයගේ කෘති ටෙලි නිර්මාණ සඳහා ද පාදක වූ අතර, "ළාදලු බෝපත්" සහ "සිදුහත් යසෝදරා" ඇතුළු කෘති කිහිපයක් ඉංග්‍රීසි හා දමිළ භාෂාවන්ට ද පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි.

යටියන්තොට ග්‍රාමයේ උපත ලද සෝමා ජයකොඩි මහත්මිය, පුවක්පිටිය කනිෂ්ඨ විද්‍යාලය, පුවක්පිටිය මහා විද්‍යාලය සහ නුවරඑළිය කඳපොළ විද්‍යාලය යන විද්‍යාලයන්ගෙන් මූලික අධ්‍යාපනය ලබා තිබිණි.




දැයේ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ උදාර අරමුණින්, තමන් පදිංචිව සිටි බණ්ඩාරගම, මැදගම ගඟ පාරේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා "රන්ගිර" නම් වූ සිය දෙමහල් නිවස, ඇය විසින් 2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පරිත්‍යාග කරන ලදී.

එම ස්ථානය මේ වන විට "සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාල හා පුහුණු මධ්‍යස්ථානය" ලෙස නම් කර ප්‍රදේශයේ ජනතාවට මහඟු සේවාවක් ඉටු කරයි. ඇය විසින් රචිත අවසන් කෘතිය වන "ළෙන්ගතු පෙම් කව" ග්‍රන්ථය, ඇය නේවාසිකව ප්‍රතිකාර ලැබූ රාගම පුනරුත්ථාපන රෝහලේදී එළිදැක්වීම ද සුවිශේෂී සිදුවීමක් විය.

අභාවප්‍රාප්ත සෝමා ජයකොඩි මහත්මියගේ දේහය අද (28) සවස බණ්ඩාරගම, මැදගම පිහිටි පරිත්‍යාග කරන ලද එම නිවස වෙත රැගෙන ඒමට නියමිතය. අවසන් කටයුතු එළඹෙන 29 වන දා බදාදා සවස මැදගම අඳුන්වැන්න ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත.