ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට රැකවරණය ලබාදීම සහ ඇයට සැඟවී සිටීමට පහසුකම් සැලසීම යන චෝදනා මත, අලුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය පෙබරවාරි මස 19 වන දින අලුත්කඩේ අධිකරණයේදී ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක නවාතැන් ගෙන ඇති අතර, එම නිවසේ හිමිකාරිය ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා, ඉහත කී කාන්තාවගේ දියණිය සමඟ විවාහ වී සිටින අයෙකි. සිය නැන්දණියගේ නිවසේ ඉෂාරා සෙව්වන්දි රැඳී සිටින බව දැන සිටියද, එම තොරතුරු සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු විසින් තහවුරු කරන ලදී.
මේ අතර, ඉෂාරා සෙව්වන්දිට මාස එකහමාරක කාලයක් පුරා නවාතැන් පහසුකම් ලබාදුන් තවත් පුද්ගලයෙකුද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා "මතුගම ශාන්" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු බවට පොලීසිය මගින් හඳුනාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval