a-personal-dispute-escalated-and-a-couple-was-attacked-with-acid-in-baddegama

පෞද්ගලික ආරවුලක් දුරදිග යාම නිසා බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී යුවළකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. ප්‍රහාරයෙන් 38 හැවිරිදි කාන්තාවක් සහ 33 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.






එම ප්‍රදේශයේම වෙනත් පිරිසක් සමග පැවති ආරවුලක් මත තුවාල ලැබූ යුවළ පදිංචි නිවස ආසන්නයේම වෙසෙන පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා පළමුව බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මීට පෙර තුවාල ලැබූ කාන්තාවට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදාවෙන් පලා ගිය සෙබළෙකුගේ පියා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.