father-files-lawsuit-against-doctor-for-sending-son-to-angoda-with-wrong-mental-illness

භින්නෝන්මාදය නම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන සිය පුත්‍රයෙකුට, පරීක්ෂාවකින් තොරව නිකුත් කළ වැරදි වෛද්‍ය වාර්තාවක් මත අසාධාරණයක් සිදුකර ඇති බවට නුවරඑළියේ පියෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිවිල් ආරවුලක් මුල් කරගනිමින් සිය පුත්‍රයාව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවට ඔහු එමගින් චෝදනා කරයි.




නුවරඑළිය මහ රෝහලේ මානසික වාට්ටුවේ කාර්ය මණ්ඩලය සමග ඇති වූ සිදුවීමකින් අනතුරුව, එම වාට්ටුව භාර විශේෂඥ මනෝ වෛද්‍යවරයා විසින් මෙම මතභේදාත්මක වෛද්‍ය වාර්තාව නිකුත් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙමගින් සිය පුතුගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට අදාළ පියා චෝදනා නගයි.

පසුගිය සැප්තැම්බර් 30 වන දින, නුවරඑළිය රෝහලේ මානසික සෞඛ්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබන මෙම රෝගී තරුණයා, වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරිනියක පිළිබඳව විමසීමේදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔහු පසුපස පන්නා ගොස් පහර දීමට උත්සාහ කර ඇති බවද පියා සිය පැමිණිල්ලේ දක්වා ඇත.

මෙම සිදුවීමෙන් පසු ඔක්තෝබර් 02 වන දින නුවරඑළිය පොලිසියේ නිලධාරීන් විසින් සිය පුත්‍රයාව නිවසේදී අත්අඩංගුවට ගත් බවත්, ඒ සම්බන්ධයෙන් විමසූ විට විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තාව මත ඔහුව අධිකරණයට ඉදිරිපත් කර බදුල්ල සහ වැලිකඩ බන්ධනාගාර හරහා අංගොඩ රෝහලට යොමු කරන බවට පොලිසිය දැනුම් දුන් බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.



කාර්ය මණ්ඩලය සහ රෝගියා අතර වූ ආරවුලේදී, එම කාර්ය මණ්ඩලයේම කොටස්කරුවෙකු වන විශේෂඥ වෛද්‍යවරයා ඒකපාර්ශ්විකව ක්‍රියා කරමින් සිය පුත්‍රයා වැරදිකරු බවට පත්කර ඇති බව පවසන පියා, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාටද පැමිණිලි ඉදිරිපත් කර ඇත. ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීමට ආසන්නව ඇති මොහොතක, බලධාරීන් මැදිහත්වී මෙම අසාධාරණයට කඩිනම් යුක්තියක් ඉටුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.