
වැලිකඩ බන්ධනාගාරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාර කිහිපයක සිටින රැඳවූවන්, ජංගම දුරකථන උපයෝගී කරගනිමින් බාහිර ලෝකයේ සිටින පුද්ගලයන් හා සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බවට වාර්තා වූ සිදුවීමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ඊයේ (28) මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ,
අදාළ විමර්ශනයක් සඳහා අවසර ඉල්ලා එම කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, වැලිකඩ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ඇතුළු බන්ධනාගාරවල සිටින ඇතැම් රැඳවූවන් ජංගම දුරකථන මගින් ලබාදෙන උපදෙස් මත බාහිර පුද්ගලයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ සංවිධානාත්මක අපරාධ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි.
වෙනත් විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක්කරන පුද්ගලයන්ගෙන් ලබාගත් ප්‍රකාශ හරහා මෙම කරුණු හෙළිවී ඇති බවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා ඇත.
ඒ අනුව, මෙලෙස බන්ධනාගාරවල සිට බාහිර පුද්ගලයන් අමතා ඇත්තේ කුමන සැකකරුවන්ද සහ ඔවුන් එම ඇමතුම් ලබාදී ඇත්තේ කුමන බන්ධනාගාරයක සිටද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්වීම සඳහා විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval