reason-for-issuing-warrant-for-manuwarna

 රුපියල් ලක්ෂ 250ක ණය ගනුදෙනුවකට අදාළ මූල්‍ය නඩු දෙකක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (29) වරෙන්තු නිකුත් කර තිබේ.



අදාළ නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී, විත්තිකරුවන් දැන දැනම අධිකරණය මගහැර ඇති බවට කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.




එක් පැමිණිල්ලක් සඳහා ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් 18 දෙනෙකු නම් කර තිබූ අතර, සෙසු සැකකරුවන් ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයා ඉඩම් ඔප්පු බෙදාදීමේ ජාතික උත්සවයකට සහභාගී වී සිටීම හේතුවෙන් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේ, මීට පෙර නඩු වාරයේදීද මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයක් බව පවසමින් අධිකරණයට පැමිණ නොසිටි බවය. නඩුවක් පවතින බව දනිමින් ඒ සඳහා පෙනී නොසිටීම ප්‍රශ්න සහගත කරුණක් බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, වරෙන්තු නිකුත් කිරීමට සහ ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද පියවර ගත්තේය.