egg-prices-down-by-rs-10

 සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් බිත්තරයක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් හසිත සංදීප මහතා ප්‍රකාශ කළේය. පඬුවස්නුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කරන ලදී.





මෙම මිල අඩු කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මෙරට බිත්තර වෙළඳපොළ තුළ මහා පරිමාණ නිෂ්පාදකයින් විසින් පවත්වාගෙන යනු ලබන ඒකාධිකාරී තත්ත්වය පාලනය කිරීම බව හසිත සංදීප මහතා පෙන්වා දුන්නේය.

මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළඳපොළේ බිත්තර මිල ඉහළ නැංවීමේ අභිප්‍රායෙන්, රට තුළ නිෂ්පාදනය වන බිත්තර තොග වශයෙන් මිලදී ගෙන ගබඩා කර තබා ගනිමින් කෘත්‍රිම හිඟයක් මවාපෑමට උත්සාහ දරන බවට ඒ මහතා චෝදනා කළේය.

මෙම ක්‍රියාකලාපය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් දැඩි අර්බුදයකට ලක්ව කර්මාන්තයෙන් බිඳ වැටීමේ අවදානමක් පවතින බවද, ඔවුන්ව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම මිල අඩු කිරීමේ පියවර ගත් බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.