despite-having-gems-ratnapura-is-malnourished

ජනතාවගේ පෝෂණ තත්ත්වය නඟා සිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බහු ආංශික ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනා ගෙන ජාතික පෝෂණ ප්‍රතිපත්තියට සමගාමීව සකස් කර ඇති පෝෂණය පිළිබඳ බහු ආංශික සැලැස්ම 2025-2030 ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී.


රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු 2025-2030 බහු ආංශික පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසටහනට සහභාගී වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය අදහස්  ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව අදාළ නිර්ණායක මෙන්ම බහු ආංශික පෝෂණ ප්‍රවේශයේ දිස්ත්‍රික් සැලැස්ම සකස් කිරීමේදී දැක්වූ ප්‍රගතිය ආදී විවිධ නිර්ණායක සලකා බලා මුලින්ම මෙම බහු ආංශික පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික්ක 3ක් තෝරාගත් අතර රත්නපුර, නුවරඑළිය සහ මඩකළපුව එම දිස්ත්‍රික්කයන් වේ. 

ජාත්‍යන්තර පෝෂණ ප්‍රවර්ධන ව්‍යාපාරයේ (SUN PF) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා නිලධාරිනිය ලෙසද කටයුතු කරන ඇය, මෙම අදහස් පළ කළාය. 

මෙම නව වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ මිලියන 22ක් වන සමස්ත ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමයි. ඒ සඳහා රජයේ මූල්‍ය දායකත්වය මෙන්ම යුනිසෙෆ් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගයද හිමි වේ. සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ,


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ ඒකාබද්ධත්වයෙන් සෑම ගම්මානයක්ම ආවරණය වන පරිදි පාරිභෝගික කමිටු පිහිටුවීමට නියමිතය.

මෙම වැඩසටහන මෙරට ළමා සහ තරුණ පරම්පරාව මන්දපෝෂණයෙන් මුදා ගැනීම සඳහා ශක්තිමත් පදනමක් වනු ඇතැයි විශ්වාසය පළ කෙරේ. පෝෂණ මට්ටම පහළ මට්ටමක පවතින රත්නපුරයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන, ඉදිරියේදී දිවයිනේ අඩුම පෝෂණ මට්ටමක් වාර්තා වන නුවරඑළිය සහ මඩකළපුව වැනි දිස්ත්‍රික්ක ඇතුළුව රට පුරා සියලුම ගම්මාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අනෙකුත් රටවල් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බැවින්, මෙය ජාතික වගකීමක් ලෙස සලකා ශ්‍රී ලංකාව තුළද සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහ සිවිල් සංවිධානවල පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බව ගිල්මා දහනායක මහත්මිය අවධාරණය කළාය.

සමාරම්භක උත්සවයේදී, බහු ආංශික පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නිල ලේඛනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා වෙත සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජාත්‍යන්තර පෝෂණ ප්‍රවර්ධන ව්‍යාපාරයේ මෙරට ව්‍යාපෘති නිලධාරිනී විශාකා තිලකරත්න, යුනිසෙෆ් ආයතනයේ පෝෂණ නිලධාරී රොෂාන් දෑල බණ්ඩාර, ජාත්‍යන්තර පෝෂණ ප්‍රවර්ධන ව්‍යාපාරයේ උපදේශිකා ඩෙල්මා ගුණසේකර යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.