ගණේමුල්ල සංජීව ඝාතනයේදී සෙව්වන්දි පලාගිය කුලී රථ පිළිබඳ වාර්තාවක් CCDයට දෙන්නැයි පික් මී සේවා ආයතනයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම ඝාතනයෙන් අනතුරුව පලා යාම සඳහා යොදාගත් පික් මී (PickMe) ආයතනයට අයත් රථ පිළිබඳ තොරතුරු වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා එම ආයතනයේ බලධාරීන්ට ඊයේ (ඔක්තෝබර් 29) නියෝග කරනු ලැබීය.
ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙම ඝාතනය සිදු කර පලා යාමට පික් මී ආයතනයට අයත් ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් රථ වර්ග කිහිපයක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අධිකරණයට කරන ලද දැනුම් දීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
මෙම රථ කුලී පදනමින් වෙන්කර ගෙන ඇත්තේ කවුරුන් විසින්ද, එම රථවල අංක මොනවාද, එම රථ ධාවනය කර ඇත්තේ කවුරුන්ද යන පිළිබඳ තොරතුරු අදාළ වාර්තාවේ අන්තර්ගත කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ආයතනය වෙත අදාළ නියෝග නිකුත් කරනු ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරන විමර්ශන කටයුතු සඳහා මෙම තොරතුරු අත්‍යවශ්‍යව ඇති බැවින් මෙම ඉල්ලීම කරන බවට නියෝග ඉල්ලූ පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටි අතර, එම සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරමින් පවතින බවත්, ඔවුන්ගෙන් අනාවරණය වූ කරුණු මත මෙම නියෝගය ඉල්ලන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතරින් කීපදෙනෙකු පොලීසිය බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත්, තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.