cid-investigates-those-who-scribbled-on-court-files-in-the-case-against-narahenpita-private-hospital

 මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන ගිය 'මෝෂන් පොතේ' වූ සටහනක් කුරුටු ගා විනාශ කළේ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා, එම උසාවියේ සේවයේ නියුතු නීතිඥවරුන්ගෙන් සහ අධිකරණ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවට රහස් පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය වෙත දැනුම් දී තිබේ.

රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්‍ෂක යාලේවත්ත මහතා අධිකරණයට දන්වා සිටියේ, නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක නීති නිලධාරිනී නීතිඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මියගෙන් සහ නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවය.

මෙම සිදුවීමට පාදක වී ඇත්තේ, නේවාසික රෝගියෙකුට නියමිත මිලට වඩා වැඩි මුදලකට ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලකි.


එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව 52624/23 දරණ නඩුව පවරා තිබිණි.

අදාළ නඩුව 2024 වසරේ ජනවාරි 23 වන දින කැඳවීමට නියමිතව තිබියදී, එය ජනවාරි 09 වන දින කැඳවන ලෙස ඉල්ලා එම පෞද්ගලික රෝහල වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප වී තිබිණි. එසේ තිබියදී, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබා සිටි 2024 ජනවාරි 17 වන දින, පැමිණිල්ලට හෝ අගතියට පත් පාර්ශ්වයට කිසිදු දැනුම් දීමකින් තොරව, වැඩබලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවා තිබේ. එහිදී, අදාළ රෝහලේ බලයලත් නියෝජිතයෙකු ලෙස පෙනී සිටි කැලුම් ගිමේන්ත්‍ර ජයසූරිය නැමැත්තෙකු චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු, ඔහුට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් මාස 06ක සිර දඬුවමක්ද නියම කර තිබිණි.




වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් නියෝගය දෝෂ සහගතද යන්න පිළිබඳ තීන්දුවක් සැකසීම සඳහා, නඩු ගොනුව සහ අදාළ ලේඛන පරීක්‍ෂා කළ මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය, උසාවියේ 'මෝෂන් පොතේ' තිබූ අදාළ සටහන (ජනවාරි 09 වන දින නඩුව කැඳවන්නැයි ඉල්ලා තිබූ) කිසිවෙකුට හඳුනාගත නොහැකි වන පරිදි යම් පුද්ගලයෙකු විසින් කුරුටු ගා ඇති බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල නැවත කැඳවූ අවස්ථාවේදී, උපපොලිස් පරීක්‍ෂක යාලේවත්ත මහතා විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළේය. පොලිස්පති නියමය මත සිදුකළ විමර්ශනවලදී, එලෙස කුරුටු ගා ඇත්තේ 'මෝෂන් පොතේ' සටහන්ව තිබූ 52624/23 දරණ නඩු අංකය බව හෙළි වූ බවද, එය කිසිවෙකුටත් හඳුනාගත නොහැකි ලෙස සිදුකර ඇති බවද ඔහු අධිකරණයට දැන්වීය. රෝහලේ නීති නිලධාරිනියගෙන් සහ මුල් පැමිණිලිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බවත්, ඒ අනුව මාලිගාකන්ද උසාවියේ නීතිඥවරුන් සහ සේවකයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් උපපොලිස් පරීක්‍ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රහස් පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සහ ඖෂධ වැඩි මිලට විකිණීමේ නඩුවට (52624/23) අදාළව 'මෝෂන් පොතේ' තැබූ සටහන පිළිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශනවල ප්‍රගතිය ලබන පෙබරවාරි 20 වන දින අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියම කළාය.