brazilian-university-student-arrested-for-demanding-ransom-of-100000-from-girl-who-sent-nude-photos-to-boyfriend-on-telegram

 ඇල්පිටිය, මීටියාගොඩ ප්‍රදේශයේ වෙසෙන විසිපස් හැවිරිදි තරුණියකගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවෙකු පසුගිය (18) දින රාත්‍රියේ මීටියාගොඩ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතේ පිහිටි රජයේ විශ්වවිද්‍යාලයක ව්‍යවහාරික පීඨයේ අධ්‍යාපනය ලබන 25 හැවිරිදි තරුණයෙකි. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමා දන්නා හඳුනන බ්‍රසීල ජාතික මිතුරෙකුගේ ඉල්ලීමක් මත මෙම මුදල රැගෙන යාමට පැමිණි බවය.




මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ, අදාළ තරුණිය 'ටෙලිග්‍රෑම්' අන්තර්ජාල යෙදුම ඔස්සේ බ්‍රසීල ජාතික තරුණයෙකු සමඟ මාස හතරක පමණ කාලයක සිට හිතවත්කමක් ගොඩනගාගෙන ඇති බවයි. එම හිතවත්කම පසුව ප්‍රේම සම්බන්ධතාවක් දක්වා වර්ධනය වී ඇති අතර, බ්‍රසීල ජාතිකයා විසින් මෙම ශ්‍රී ලාංකික තරුණිය විවාහ කර ගන්නා බවටත්, ඇයව හමුවීමට මෙරටට පැමිණෙන බවටත් පොරොන්දු දී තිබී ඇත. කිසි දිනෙක සැබෑවට හමු නොවූ මෙම විදේශීය පෙම්වතා, දුරකථන සංවාදයක් අතරතුර තරුණියගෙන් ඇයගේ නිරුවත් ඡායාරූප ඉල්ලා තිබේ.

විදේශීය පෙම්වතා කෙරෙහි තැබූ විශ්වාසය නිසාත්, ඔහුගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි වූ නිසාත් මෙම තරුණිය සිය නිරුවත් ඡායාරූප ඔහු වෙත යවා ඇති බව පොලිසිය සඳහන් කරයි. එම ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව බ්‍රසීල ජාතිකයා, එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තිබේ.


එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් තමා වෙත ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇති බව තරුණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුවා 2017 වසරේ මාලදිවයිනේ සිදුකළ සංචාරයකදී මෙම බ්‍රසීල ජාතික තරුණයා හඳුනාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවද ඔවුන් දෙදෙනා දිගින් දිගටම සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. මෑතකදී බ්‍රසීල ජාතිකයා විසින් මෙම විශ්වවිද්‍යාල සිසුවාට කතා කර, තමන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන තරුණිය හමුවී රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන, පසුව එම මුදල සිය බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.