අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ ලක්ෂ තුනක ප්‍රමාණයක් විමර්ශනය කිරීමේ කාර්යය සඳහා යොදවා ඇත්තේ නිලධාරීන් පස් දෙනෙකු පමණක් බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඊයේ (02) දින පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේය. කොමිසමට නව නිලධාරීන් බඳවා ගැනීමේදී මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොවන බවටද ඔහු චෝදනා එල්ල කළේය.
කොමිෂන් සභාවේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා නීති සහ විමර්ශන නිලධාරීන් 967 දෙනෙකුගේ පුරප්පාඩු පවතින නමුත්, වර්තමානයේ සේවයේ නියුතුව සිටින්නේ නිලධාරීන් 169 දෙනෙකු පමණක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. අවශ්‍ය නීති නිලධාරීන් සංඛ්‍යාව 75ක් වන විටත් දැනට සිටින්නේ 31 දෙනෙකු පමණක් බවද ඔහු සඳහන් කළේය. මෙම සීමිත කාර්ය මණ්ඩලය යටතේ, මේ වසරේ අගෝස්තු 31 වන විට ලැබී ඇති පැමිණිලි 4626ක් විමර්ශනය කිරීමට අමතරව, එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න සහ මෙරට ආර්ථිකය බිඳවැටීමට අදාළ හේතු සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සංකීර්ණ විමර්ශන ද සිදුකිරීමට සිදුව ඇති බව ඔහු පැවසීය.
අල්ලස් කොමිසම යනු කිසිදු අමාත්‍යවරයෙකු යටතේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් යටතේ පවතින ආයතනයක් නොවන, පූර්ණ ස්වාධීන ආයතනයක් බවද දිසානායක මහතා අවධාරණය කළේය. තම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා පත්කිරීමේදී මෙන් නොව, ව්‍යවස්ථාදායක සභාව විසින්ම සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිර්දේශයට යවා පත්කරන ක්‍රමවේදයක් යටතේ තමා තේරී පත් වූ බවයි.
තමා දේශපාලන පක්ෂයක කමිටුවක සිටි බවට නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, එවැනි චෝදනාවක් තිබුණේ නම් තම පත්වීමට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව තිබූ බව සිහිපත් කළේය. මෙවැනි අසත්‍ය චෝදනා මාධ්‍ය හරහා එල්ල කරන්නේ තමා කෙරෙහි සහ කොමිසම කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ දැමීමේ අරමුණින් බවට ඔහු චෝදනා කළේය. තවද, තම දරුවා පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කොමිසමට ලැබී තිබූ පැමිණිල්ලක් තම මැදිහත්වීමකින් තොරව විමර්ශනය කර, එහිදී නීති විරෝධී ක්‍රියාවක් සිදුවී නොමැති බවට කොමිසම විසින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවද ඔහු කීය.
කොමිසමේ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කරමින් දිසානායක මහතා කියා සිටියේ, තමන්ට අවශ්‍ය පරිදි පුද්ගලයන්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවත්, කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ විධානය මත පමණක් එම කටයුතු සිදුකරන බවත්ය. විමර්ශනයකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නේද, නැතහොත් විමර්ශනයෙන් අනතුරුවද යන්න තීරණය කරන්නේද කොමිසම බව ඔහු පැවසීය. ඇතැම් දේශපාලනඥයන් පිළිබඳව මාධ්‍යවල පළවන වාර්තා විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.
කාර්ය මණ්ඩල හිඟය පිළිබඳ ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට සතියක කාලයක් ලබා දුන්නද එය මෙතෙක් ඉටුවී නොමැති බවත්, මේ වන විට කථානායකවරයා විසින් මෙම කාරණය නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.
දේශපාලනඥයන් පිළිබඳ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව කොමිසම නඩු පැවරිය යුතු යැයි තීරණය කරන්නේ නම්, එය වත්මන් ආණ්ඩුවේද හිටපු ආණ්ඩුවේද යන්න නොසලකා එම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval