හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා, එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (02) දින නියෝගයක් නිකුත් කළේය. උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ නොහැකි රුපියල් ලක්ෂ 280 ඉක්මවූ වත්කම් සහ දේපළ හිමිකාරිත්වය දැරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, සැකකරු 2014 වසර දක්වා සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් කර ඇති නමුත්, 2016 වසරෙන් පසු උපයාගෙන ඇති බව කියන රුපියල් ලක්ෂ 280කට අධික වත්කම් සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් සිදුකර නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පැවැත්වීමට නියමිතව ඇති බැවින්,
සැකකරුට ඇප ලබා දීමෙන් එම විමර්ශන ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවද කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සහ විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සැකකාර නෙවිල් වන්නිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ, සිය සේවාදායකයා මීට පෙර වසර පහක කාලයක් සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගෙන දඬුවම් ලැබූ පුද්ගලයෙකු බවයි.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අවධාරණය කළේ, වත්මන් විමර්ශනය සිදුකරනුයේ වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව මත නොව, ඔහු විසින් කලින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශවල පවතින බරපතළ පරස්පරතා සම්බන්ධයෙන් බවයි. එම ප්‍රකාශවල සඳහන් ආදායම් මාර්ගවලට වඩා විශාල ආදායමක් සහ දේපළ ප්‍රමාණයක් ඔහු සතුව පවතින බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
දැනට හඳුනාගෙන ඇති රුපියල් ලක්ෂ 280ක වත්කම් ප්‍රමාණයට වඩා විශාල දේපළක් ඔහු සතුව ඇති බවටද තොරතුරු ලැබෙමින් පවතින බව විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවීමෙන් පසුව, නෙවිල් වන්නිආරච්චි මහතා ඊයේ පස්වරු 1.30ට පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. විමර්ශන සඳහා සහයෝගය ලබා දීමට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් දැනුම් දුන් විට, සැකකරු දින ඉල්ලමින් ඉතා කෙටි කාලයක් තුළ දුරකථන ඇමතුම් විසන්ධි කරමින් විමර්ශන මඟහැරීමට උත්සාහ කළ බවටද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළහ.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය. සැකකරුට ඇප ලබා දීමෙන් විමර්ශනවලට බාධා එල්ල විය හැකි බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරයා, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval