
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් අවසන් වන වේලාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය වහාම ආපසු හරවා නොගතහොත්, දෙසැම්බර් මස පළමු සතියේ නව පාසල් වාරය ආරම්භ වීමත් සමග වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි.
එම සන්ධානය නියෝජනය කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ,
පාසල් කාලය මෙලෙස දීර්ඝ කිරීම කුමන පදනමක් මත සිදු කරන්නේද යන්න පැහැදිලි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් අපොහොසත් වී ඇති බවයි. මෙම වෙනස සඳහා කිසියම් මනෝ විද්‍යාත්මක උපදේශනයක් ලබා ගත්තේ ද, නැතහොත් පර්යේෂණයක් සිදු කළේ ද යන්න පිළිබඳව අමාත්‍යාංශය කරුණු පැහැදිලි කර නොමැති බවද ඒ මහතා චෝදනා කළේය.
කිසිදු පදනමකින් තොරව අත්තනෝමතික ලෙස පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම මගින් සිසුන්ගේ, ගුරුවරුන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ ද කාලය අනවශ්‍ය ලෙස නාස්තියට පත්වන බව ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කළේය. සිසුන්ට සැබෑ ප්‍රයෝජනයක් අත් නොවන මෙම ක්‍රියාවලිය සඳහා විධිමත් මනෝවිද්‍යාත්මක පදනමක් පැවතිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එළඹෙන නොවැම්බර් මස 7 වන දිනට, එනම් වත්මන් පාසල් වාරය අවසන් වීමට ප්‍රථම, අධ්‍යාපන අමාත්‍යාංශය සිය තීරණය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවත්, එසේ කිරීමට අපොහොසත් වුවහොත් නව පාසල් වාරය ආරම්භයේදී වර්ජනයක් ක්‍රියාත්මක කිරීම නොවැළැක්විය හැකි බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval