'වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත ජන රැලියක් ලබන මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිතය. මෙම ජන රැලිය වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහා කැඳවා ඇත.
ඊයේ (27) දින කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම කරුණු අනාවරණය කළේය. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ යන පක්ෂ නියෝජනය කරමින් විශාල ජනතාවක් මෙම අවස්ථාවට සහභාගී වන බව හෙතෙම පැවසීය. තවද, මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ආශිර්වාදය ලැබී ඇති බවද ගම්මන්පිල මහතා එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතාවට පොරොන්දු 1359ක් ලබා දුන්නද, මේ වන තෙක් ඉන් එකදු පොරොන්දුවක් හෝ ඉටු කර නොමැති බවටද ගම්මන්පිල මහතා චෝදනා කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, හිටපු ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය කියා සිටියේ, දිනෙන් දින පිරිහෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ අරමුණින් විපක්ෂයේ සියලු පක්ෂ මෙලෙස ඒකාබද්ධ වන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේ වර්තමානය වන විට නීතියේ ආධිපත්‍යය දරුණු ලෙස ඛාදනය වෙමින් පවතින බවය.
පොදුජන එක්සත් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් කිසිදු පුද්ගලයකුට ජීවත් විය නොහැකි රටක් නිර්මාණය වනු ඇති බවයි. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබා දුන් ජනතාව පවා දැන් ආණ්ඩුව එළවා දැමිය යුතුය යන මතයේ සිට කටයුතු කරන තත්ත්වයකට පත්ව ඇති බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval